මට හරි පාඩුයි




මගේ ගොඩ පුරවගන්න
මගේ බඩ වඩවගන්න
ඌට වඩා ඉහලයන්න
එයටයි මේ වෙහෙසවෙන්නෙ....

ඌට වාසි මට පාඩුයි
බැහැ නොවැ ඉවසා ඉඳින්න
මගේ රුපියල මට දීපං
පාඩුව බෑ දරාගන්න...

ඒ රුපියල වියදම්කර
ගන්නව මම ටිකට් එකක්
හය මාසෙක යනවා මම
දිව්‍ය ලෝකේ ටුවර් එකක්...

?
?
?
?
?
*****

අනේ මාරයෝ මට දැන් ම මැරෙන්න බෑ
...දැන්ම මැරෙන එක මට හරි පාඩුයි...

...තවමත් නැවුම්...



දෑතක් එක්කොට ගහපු
අත් පොළසනක්
කණ පැලෙන සද්දයක්
දෑත එකිනෙකාට දොස් නඟයි...

අන්න එකෙක් මැරිලා
මම දන්නෑ
කොකා ගැස්සුවේ උඹ
මම තුවක්කුව අල්ලාගෙන හිටියා විතරයි...

දැන් ඉතින් කෑ නොගහ හිටපන්
කවුරුවත් දැක්කෙ නෑ
කාටවත් ඇහුණෙ නෑ
පෙති ටික ඉක්මනට එකතුකරගනින්
ගාණට අමුනාපන්...
තව හදිසිකාරයෙක් ඒවි

ෂා...

ඔය තියෙන්නෙ නියමෙට
දැන් පිපුණා වගේ...

වත, රූපය හා ලැජ්ජාව



විරූපී වත හිමි ස්ත්‍රියකගේ
සළුවට වැසුණු තැනක්වත්
දක්නට අකමැති පිරිමින්...

සුරූපී වතක් ඇති ස්ත්‍රියක් දුටු තැන
සිත එහි ම ඇලෙයි නම්,
ඇගේ වැසුණු තැන්
දක්නට එතරම් ලොල් නම්,

පිරිමින්ගෙ හිත ඇදී යන්නේ
කෙල්ලෙකුගේ ලස්සන මුහුණට නම්,
ඇයි වැදගැම්මක් නැති අනෙක් තැන් වහගෙන
මූණ පෙන්නගෙන ඉන්නෙ...?

ඇස, රූපය හා සිත





           තෘෂ්ණා සාගරේ ගිලී කිමිදී
අයාලේ දුවන සිතුවිලි

මායිමක් නැති
වැටකඩොළු නැති
බැද දැමූ ලණු පටක් වත් නැති

දකින දේවල සිත ඇලෙන විට
ඇලුණු සිත දුක රැගෙන එන විට

රූපෙට දොස්නඟා
ඇසට ශාපකර
ලබන්නේ කුමන ඵලක්ද...

සංතුෂ්ඨිය

     
මුළු දවසෙ ම
වේලි වේලි හිටියා හොඳට ම ඇති
තවත් ඉන්න බෑ
පට්ට බඩගිනියි
පාන් කෑල්ලක්වත් කන්න ඕන
*
*
*
...හ්ම්...
*
පට්ට රහක් නොවැ තියෙන්නෙ
මේ වගේ දිව්‍ය භෝජනයක් තව කොයින් ද
*
*
*
...ෂික්...
*
ෆ්‍රයිඩ් රයිස් ඇවිල්ලා
පාන් කියන්නෙ කෑමක් ද
තව ටිකක් ඉවසුවානම්
*
දැන් බඩ පිරිලා
ඒත් තව කන්න පුළුවන්
*
*
*
පහුවෙලා බැරියැ
*****

දයාව, නුරාව



          පිරුණු ලැම දෙස
ඇරුණු ගවොම් කරෙන්
එඹිකම්පානා...
ගූඪ තැන්හි වින්දනයේ
පහස සොයන මිනිසා,
නුඹේ...
නුරාවෙන් පිරුණ රකුසු නෙතට
නොපෙනෙනෙ,
කුස පිරෙන්න කිරි බොමින්
ඇකයේ නිඳන ඇගෙ දරුවා...

මම ය.. මාගේ ය...

         මේ ඉන්නේ මම
ඔව් ඔව් ඔය පින්තූරයකු ත් දාලා තියෙන්...
මේ මම ලියපුවා...
ඒවා මගේ...
නේකවිද දේවල් මෙලොව
තව කොතෙක් තිබෙද මගේ කියා..
ඇත්තට ම ඒවා මගේ ද?
එතකොට මේ මම
ඇත්තට ම ඒ මම ද?

මේක හරි ජොලි ජීවිතේ



        උදේ ඉස්කෝලේ පටන්ගන්නා තුරු
හවසට කෙල්ලන් යලි එනතුරු
ගාමන්ට් යන කෙල්ලන් පාරේ පොදිකන තුරු
ජැන්ඩි පහට ඇඳගෙන
ජෙල් ටිකක් ගාගෙන
සෙන්ට් පුයරත් දමාගෙන
රෝද දෙකේ මනමාලයෝ...
එහෙට යනවා මෙහෙට යනවා...

අම්මලා අප්පලා හම්බුකරනකන්
ගෙදර ලිපේ බත් ඉදෙනකන්
ගජයො සෙට් එක වටේ ඉන්නකන්
පදිමු පදිමු ඇතිවෙනතුරු
මුරකරමු හැම හන්දියක්ම
මේක හරි ජොලි ජීවිතේ...

රස්සාවල් මොකටද
පන්නාගෙන එමු ඉස්කෝලෙ යන කෙල්ලක්..
යවමු හෙට ඉඳන් ගාමන්ට්...
මදි පාඩුවක් අම්මා අප්පාගෙන් ඉල්ලාගමු
ආයිත් පදිමු...පදිමු...
මේක හරි ජොලි ජීවිතේ...

පවුලට එකා දෙන්නා එකතුවෙනකොට
කෑම බීමත් ගෙදර හිඟවෙනකොට
කරපු කුප්ප වැඩ එළි දකිනකොට
ගෑණිගෙ සද්දෙත් වැඩිවී එනකොට
හට්ටි වළං පොඩි ගුවනින් යනකොට
හිටපු සෙට් එක අඩුවී යනකොට
අම්මා තාත්තා ත් පිහිටට නැතිකොට
ජොබ් හොය හොයා පිස්සු හැදෙනකොට
මේක හරි ජොලි ජීවිතේ...

ආවේගී පහර


දෘඩ වස්තුවක්ව පැවති මා ගත
ලුහු දඬු රාමුසැකිල්ලක් ලෙස ගිලන්ව
තෙරපුම් ආතති දරාගනිමින්
රළු පෘෂ්ඨයක් වූ මෙට්ටය මත
උදාසීන සමතුළිතතාවයේ ද
භ්‍රමණ චලිතයේ ද
විටෙක වෘත්ත චලිතයේ ද යෙදෙමින්
පූර්ණ ප්‍රත්‍යාස්ථ යැයි කිව නොහැකි පරිදි
දහසක් සිතුවිලි ගැටෙමින්
මන්දනය වෙමින් පැවති ධණාත්මක සිතුවිල්ල
නිසලවීමට ආසන්න මොහොතක
මට මතක්වුනා
ජීවිතය උඩු යටිකුරුකළ ඒ වචන ටික

"ජීවිතයේ සටන් නිරන්තරයෙන් ම
වඩා ශක්තිමත් හා වඩා වේගවත් ම මිනිසා විසින්
ජයගනු නොලැබේ...
ඉක්මනින් හෝ පමාවී හෝ
දිනන මිනිසා වන්නේ,
තමාට හැකි යැයි සිතන මිනිසාය... "


සියොලඟම දෙදරාගිය ආවේගී පහරින්
මා නැඟිටුණෙමි.
***
**
*

..ඔව් ඒ මම තමා..



            
මම
ඔව්
ඒ මම තමා
*
*
මතක නැද්ද
ඇයි යකෝ ඔහොම බලන්නේ
ඉස්සර උඹලත් එක්ක
හන්දිගානේ රස්තියාදු ගැහුවේ
කුරුම්බා ගස් පාලුකරේ
මුළු දවසෙම වෙලේ කරක්ගැහුවේ
*
*
මම
ඔව්
ඒ මම තමා
*
*
ඔව් යකෝ
අවුරුදු හත අටකට කලින්
තොපිත් එක්ක
ඒ හිටිය එකා තමා
අවස්ථාවක් දීලා බලාපල්ලා
තවම මම උඹලගේ එකෙක් කියලා පෙන්වන්න
තවමත් ඒ ලෙංගතුකම හිතේ තියෙනවා
මේං එබිලා බලාපන්
*
*
අතීතයෙ දවසක
සිතුවිල්ලකට එහා නොතිබූ නුදුරු බව
මෙදා අහස පොළොව තරම් දුරස්ව
පාර තොටේ හමුවෙන අපි
නන්නාඳුනන උන් වගේ
වෙන්වෙන අපූරුව
*
*
මම තොපිට කරපු
වරද කියාපල්ලා
*
*
මම
එදා තිස්ස
දැන් පියල්
හෙට
සවිමන් කබලානට
සමකරන්නද තොපි වෙරදරන්නෙ
*
*
මේ අපේ එකෙක් කියලා
සතුටු වෙයල්ලා
කුහක කම් අතෑරලා
වරෙන්
තවම මම
මම
*
*

සිතක මහිමය හැඳිනගනී නුඹ..



සිතේ දුර්වල තැන් සොය සොයා
සිඳී බිඳී ගිය කැබලිති රැගෙන තනන්නට යන
පෙර දිනයක නුඹ ම කඩා බිමහෙලූ
අපේ සිහින මාලිගය...

නුඹෙ කඳුළු මගේ කඳුළු වූ අතීතයේ
මගේ කඳුළු නුඹේ සතුට හැරුණු අපූරුව
කියාපාන මේ ජීවිතේ හරුපය
කෙදිනක හෝ හැඳින ගනී නුඹ..

ගැල පසු නෑර යන රිය සක මෙන්
පසුපස හබා එන නුඹේ වද වේදනා
පාරාවළල්ලක්වී නුඹ කරා එනදා
තමන්ට තමනුත් නැතිව යනු ඇත...

මිරිඟුව පසුපස යන මුවැත්තියක් බඳු නුඹ
දෙපා බෙලහීනව ඇදවැටෙන දිනයක
පිපාසිත මුව දිය සොයන පරිද්දෙන්
සිතක මහිමය හැඳිනගනී නුඹ..

යථාර්තය මෙය නොවේ ද....



නන්දා මාලනියන් විසින් ගයනු ලබන මෙම ගීතයෙන් කියවෙන්නේ අපගේ සමාජ යථාර්තය නොවේ ද??

මගේ ගම


              නේක විද මල් ගොමුවල සුවඳ රැගෙන
ගඳපාන, බෝවිටියා ගස් අතරින්
පෙරී ආපු ඒ සිහිල් හුලඟ වෙනුවට හමා එන
අව්වට රත්වී කැකෑරුණ දූවිලි හුලඟේ
දෙසවන් පිනවූ විහඟ හඩ වෙනුවට ඇසෙනා
තුට්ටු දෙකේ ගායකයෙකුගේ මළ අඳෝනාවක් තුල,
මහ කැළය පරදා අහස උසට නැගුණු ගඩොල් බිත්ති අතරින්
අපේ කියා එකෙක් සොයාගත නොහැකි මුහුණු සියගණන් මැද
සොයමි මම
මා දුව පැන හැදී වැඩුණ

*....... මගේ ගම.......*

මල් සහ පැණියෝ...


කාලෙකින් බ්ලොග් එකට මුකුත් ලියන්නත් බැරිවුණා...
නිතර සිතට නැඟුණ අදහස් ටිකක් හා මේ දවස්වල සිතට වදදෙන සිතුවිලි ටිකක් ගලපන්නයි අද හදන්නේ..
නා නා විද මල්...එක එක පාට..එක එක සුවඳින්.. සමහර ඒවා පිපෙන්නට ත් කලියෙන් සුන්දරයි..ඔය අතරෙ මෙලෝ රහක් නැති මලුත් නැතුවාම නොවේ. සමහර මල්වල ලස්සන විතරයි.සුවඳක් නෑ. සුවඳ සමහර මල් ලස්සන නෑ..ලස්සන මල් හැම එකක් ම සුවඳ ත් නෑ.. සමහර මල් පිපෙන්නේ ඇසට පෙනෙන මානයේ.. අත ගැටෙන මායිමේ.. සමහර ඒවා තහනම් ගස්වල, ලංවෙන්නට නොහැකි උස අතුවල සමහර මල් තව ම කාගේවත් නෙත ගැටිලා නෑ...

එතකොට පැණියෝ??
ඒ තමා පැණි උරන්නෝ.. පැණි උරන බඹරු, මීමැස්සෝ, සමනල්ලුන්ගෙ වැඩේ ඉතින් මල් පස්සේ යන එක තමයි..
වෙලාවකට හිතෙනො මල්, තමන් ලඟට එන්න කියලා අඩගහනවද කියල ත්. ඕවා ඉතින් මල් තමා දන්නේ.. සමහර බඹරුන්ට මල්වල සුවඳ වැදගත් නෑ.. උන්ට ඕන ලස්සන විතරයි... පැණි විතරයි.. සමහර බඹරු නහින්නෙ ත් මල් නිසාම තමා... බඹරු ඉතින් මල් හොයාගෙන යන්නේ පැණි උදෙසා ම තමා... නෑ කියන බඹරෙක් නම් තව ම මට මුණගැහිලා නෑ..
ස්ත්‍රිය ත් හරියට මලක් වගේ..ඒක ප්‍රසිද්ධ කියමනක්. මම හිතන විදියට මල් ගැන කියපු ගොඩක් දේවල් ස්ත්‍රියට අදාලයි.. වැදගත් ම දේ තමයි ඔය සුවඳයි ලස්සනයි සාපේක්ෂ වීම. එකෙක් ට ලස්සනට සුවඳට පෙනෙන දේ තව එකෙක්ට කැත ගඳගහන එකක්.. ගැහැණියක් කොහොමද සුවඳ වෙන්??? මොනාහරි සුවඳ ගහන දෙයක් ගාල ද?
නෑ... ඇත්තට ම ඇය සතු ගති ගුණ වලින් තමයි ඇගේ ජීවිතේ සුවඳ හෝ ගඳ ගහන එකක් වෙන්..එතකොට පිරිමි?
ගොඩක් උන් බඹරු තමා.. එක මලකින් සෑහීමට පත්වෙන්නේ නෑ.. සමහරු දකින දකින මල් පස්සේ යනෝ.. කොහොම උන ත් එක මලක් පමණක් පතාගෙන ඉන්න බඹරු වාගේ ම එක බඹරෙක් ව පමණක් පතන මල් නැතුවා ම නොවේ.
සමහර පිරිමිත් පැණි උරන්නෝ වගේ.. එක ගැහැණියක්(පෙම්වතියක්)ගෙන් සෑහීමකට පත්වෙන්නේ නෑ.. උන් තමන්ට අවශ්‍ය දේ කරගෙන තවත් එකෙක් හොයාගෙන යනෝ.. සමහර ගැහැණු ත් එහෙම තමා.සමහර ගැහැණු පෙති හැලුණ මල් වගේ..ජීවිතේ වටිනා කියන දේවල් නැතිකරගෙන.. සමහර කෙල්ලෝ මල් වට්ටි වගේ අතින් අතට යනෝ.. ඒ වාගේ ම බිරියට,පෙම්වතියට හොරා වෙනත් ගැහැණුන් හොයාගෙන යන බඹරු වගේ පිරිමි ත් අද සමාජයේ කෙතරම් ඉන්නවා ද??


පිරිමියෙක් එක් ගැහැණියකගෙනු ත්, ගැහැණිය එක් පිරිමියකගෙනු ත් සෑහීමකට පත්වෙනවා යැයි කියන බෝඩ් එකක් අප සමාජ සංස්කෘතිය තුල ගසාගෙන ඇතිමුත් ලොවට හොරා මේ පුංචි රටේ කෙතරම් කියලා අවලම් වැඩ වෙනවාද?? පිරිමින්ගෙ අවලම් වැඩ නිසා අසරණ කෙල්ලන්, ගැහැණුන්, උන් වදාපු දරුවෝ කී දෙනෙක් මේ වෙද්දි දුක් විඳිනවා ද?? ඒ වාගේම අවලමේ ගිහින් තමන්ගේ වටිනා ජීවිත වනසගත් ගැහැණු(කෙල්ලන්) මේ රටේ කොතෙකු ත් සිටිනවා ද?? අවලමේ යන උන් ටික දවසක් යද්දි ඒකට ඇබ්බැහිවෙනෝ.. ගොඩක් උන් දන්නවා උන් කරන්නෙ වැරැද්දක් කියලා.. ඒ උනාට සමහර උන් දන්නෙත් නෑ උන් කරන්නෙ වැරැද්දක් කියලා. ඒ වගේ ම අවලමේ යන ගැහැණුන්, පිරිමින් ගේ පවුල් ජීවිත කොහොම ද? ඒවා මිහිපිට අපායවල් වගේ. අන්තිමට දුක්විඳින්නේ උන්ට ජාතකවුන අසරණ දරුවෝ.. සමහරුන්ට අප්පෙක් නෑ.. සමහරුන්ට අම්මෙක් නෑ. උන්ට ඉස්කෝලෙකට යන්න විදියක් නෑ.. ගොඩක් උන්ට උප්පැන්න සහතිකයක් නෑ.. සමස්ථ සමාජය ගෙන බැලුවොත් ඔය ගොඩක් ඒවාට වගකියන්න ඕනෙ පිරිමි. සමහර සමාජ මට්ටම්වල පිරිමින් අභිගවා ගැහැණු අවලම් වැඩවල.... ගොඩක් උන් මේ නිරුවත සල්ලිවලින්, තමන්ගේ තනතුරු, තානාන්තර වලින් වසාගෙන ඉන්නේ..
ඉතින් අපේ මේ මල් සහ පැණි ජීවිත ගැන ටිකක් හිතුවොත් නරක ද??

පැල්පතට ත් වරුසාව


         නින්ඳ ත් නොනින්ඳ ත් අතර 
පොරකාපු ඇස්දෙක මත
වහලයේ ඉරටු අතරෙන්
බිංදුව බිංදුව වැටෙන වැහි බිඳු
කුප්පි ලාම්පු එළියට දිලෙමින්
රඟ දුන් අපූරුව...
ඒ මල් වරුසාව මහ වැස්සක් වී
කඩා වැටෙනවිට,
හට්ටි මුට්ටි හැළි වළං ටික
ගේ මැද මැවූ සොඳුරු රටා...
අහු මුලුවල හැංගී සිටි ගෙම්බන්ගේ
උජාරු හඬ මැදින්
පෙඟී ගිය මැටි පොළොවෙන් හමා ආපු
අපේ ජීවන සුවඳ...
අඩවන් කළ පැලැල්ලෙන්
රිංගන්නට වෙර දීපු බල්ලෙක්
ගුටිකා දුවපු හැටි...
සියල්ලක් දෙස
මුඳුන් බිත්තියේ ඉහල සිට
උපේක්ෂාවෙන් බලාසිටින
දුම් වැදී කිලිටිවූ
සීවලී හාමුදුරුවෝ.....

නොමැරෙන මිනිස්සු


අපේ අනාගත ප්ලෑන් කොහොම ද? ඩිග්‍රිය අරන් ජොබ් එකක් කරලා හොඳ ගෙයක් දොරක් හදාගෙන ලස්සන කාර් එකක් එහෙම අරගෙන... තව ත් බොහෝ දේවල්. ඒ තවත් අවුරුදු 10ක් 15ක් හෝ නැතිනම් ඊට ත් එහා අනාගතය ගැන අපේ සැලසුම් ය. අප සිතා සිටින්නේ මේ ජීවිතය අපට අපේ අණසක පරිදි අපේ වසඟයෙන් පවත්වාගෙන යා හැකියි කියා.. නිකමට වගේ හිතුවද "මම හෙට මැරේවි" කියා..
මේ ජීවිතය අත හැර අපට කොයියම් ම මොහොතක හෝ නික්මීමට සිදුවනු නොඅනුමානයි.. හොඳට වට පිට ඇහැ කරකවලා බැලුවොත් අපි මේ කරන්නේ මොන විකාර ද කියල අපට ම තේරුම් ගන්න වැඩිවෙලා යන්නෑ.සමහරු ජීවත්වෙන්නේ උන් කවදාව ත් මැරෙන උන් නොවන ලෙසිනි. තණ්හාවෙන් හැමදේ ම බදාගෙන තමන්ට කප්පරකට සැප සම්පත් තිඹුණ ත් එයින් තඹ දොයිතුවක් තවෙකෙකු වෙනුවෙන් කැප කරන්න මැළිවෙන මසුරු සිටාණන් අද සමාජයේ කොතෙකු ත් දැකගත හැක. තව ත් සමහරු බලය නිසා ඔලුව පුම්බාගෙන අනෙකා තලා පෙලා කිසිදා නොමැරෙන් උන් ලෙස ජීවත් වෙති. තවත් සමහරු කාලා බීලා ජොලියෙන් ජීවත් වෙති. නමුදු කවදාක හෝ අපට ත් මැරෙන්න සිදුවන බව ඔවුන් නොසිතති. අපේ මරණය අපට පාලනය කළ හැකිද?? මරණය ඔඹට අත වනන විට එය කල් දා ගතහැකි ද?? "අනේ මට දැන් ම මැරෙන්න බෑ මට කරන්න දේවල් තව ගොඩක් තියෙනවා, මට මගේ පෙම්වතිය,අම්මා, තාත්තා, මගේ දේපළ දාලා එන්න බෑ" යනාදී කුමන දෙයක් කියා හෝ අපට අපේ මරණෙන් පලා යා හැකිද? කවදාකව ත් එය එසේ සිදු නොවේ. මරණයට මුහුණදීමට සිදුවන්නනේ අපට තනිවම ය. එතෙක් කල් අප ලඟින් සිටී ලබැඳියන්, අපේ ධනය, දේපල සියල්ල අතහැර තනිවම මරණයට මුහුණ දීමට සිදුවේ. බෞද්ධයන් හැටියට අපි මරණින් මතු ජීවිතයක් පිළිගනී. නොයෙකුත් පර්යේෂණ මගින් ද සත්වයාගේ පුණර්භවය සනාතවී ඇත. මරණින් මතු අප රැගෙන යන්නේ මොනවාද??
අපගේ ජීවිත කාලය තුළ අප සිදුකළ දේවල්වල ප්‍රථිඵලයන් පමණකි. අපගේ ජීවිත කාලය තුල කර ඇත්තේ නරක ම පමණක් නම්??
මරණාසන්න මොහොතේ අපට කුමක් වේවිද?? මතු ආත්මයක අපගේ ජීවිත මොන වගේ වේවිද??

ඉතින් කවදාක හෝ අතහැර දමා යන්නට සිදුවන මේ ශරීරය, අප සතු දේපළ, අප ආදරය කරන පුද්ගලයින් යනාදී සියලු දේවල් වෙනුවෙන් අපි මේ එකිනෙකා තලා, පෙලා, මරාගෙන කරන්නේ මොනතරම් පිස්සුවක් ද?? අද මට දැනගන්න ලැබුණොත් මට දරුණු පිළිකාවක් වැඩිකල් නොගොස් මා මියයන් බව... මට මේ සියල්ල අතහැර දමා යෑමට සිදුවේ..
ඉතින් අපි මැරෙණා මිනිසුන් ලෙස ජීවත්වුනො ත් නරකද??
නෙළුම
මඩෙ හි හටගෙන ජල මට්ටමෙනු ත් ඉහලට පැමිණ ලොව ම සුවඳවත් කරයි...
මඩෙහි පිපුණ ත් එහි පෙතිවල මඩ නැත.
මඩ ගඳ වුව ත් නෙළුම සුවඳ ය..
මේ කෙසේ වුවත් එයද පරව යයි.

පොෂ් ඩයල් සහ අලයෝ...


මා හුදෙක් මේ post එක ලියන්නේ කුමන හෝ පුද්ගලයෙක්, පුද්ගලයන් පිරිසකට අපහාස කිරීමට හෝ අපහසුතාවට පත්කිරීමට හෝ මඩ ගැසීමකට හෝ නොවන බව කරුණාවෙන් සලකන්න...මගේ බ්ලොග් එකේ විශ්වවිද්‍යාල ජීවිතය ගැනත් යමක් ලියන්න හිතුනා.. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ එයට ම ආවේණික වූ බොහෝ දේ අතරින් භාෂාවට හිමිවන්නේ විශේෂ තැනකි. එහි අමුතු ම වචන ගොඩකි. පොෂ් ඩයල් සහ අලයෝ ගැන මට අසන්නට ලැබුණේ මා සරසවියට ඒමට දින කිහිපයකට පෙර මුණ ගැසුනු මාගේ තවත් විශ්වවිද්‍යාල මිතුරෙකුගෙනි. ඔහුට අනුව පොෂ් ගොඩට බොහොමයක් අයිති වන්නේ කෙල්ලන් ය. ඔහු කී පරිදි යමෙක් පොෂ්වීමට සපුරාලියයුතු මූලික සුදුසුකම් කිහිපයක් ඇත.ඒවා මෙසේ ය.
මූලික ම දෙය ලෙස හොඳට පොලිෂ් වූ කඩ්ඩක්,
අත මිට යහමින් මුදල්,
කෙල්ලක් නම් ඇහැට කණට පෙනෙනෙ හොඳ රූප සෝභාවක්,
කොළඹ අවට පදිංචියක්
තිඹීම තවත් අනිවාර්ය්‍ය අවශ්‍යතාවක් බව ද ඔහු පැවසීය.
උන් වෙනම ම ගැට්ටක් ගහගෙනලු ඉන්නේ.
ගමන් බිමන් තම තමන්ගේ ම වාහන වලින් ලු.කථා කරන්නේ කඩ්ඩෙන් ම ලු.

අලයන් ලෙස හැඳින්වෙන්නේ අන්තරේට සම්බන්ධ නොවන වි.වි ශිෂ්‍යයන් ය.ඔහුට අනුව සමහර වි.වි මුලුමනින් ම අල වි.වි ලෙසත් තවත් සමහර වි.වි වල සමහර පීඨ පමණක් අලයන්ගෙන් සමන්විත වේ.
අන්තරය රජකරන තැන් වල ද අලයෝ නැතුවා නොවේ...ඒ මාගේ මිත්‍රයා මට පොෂ් සහ අලයන් හඳුන්වාදුන් ආකාරයයි...ඔහුට අනුව මම අලයෙකි.. මොකද බැලිඤ්ඤං අප්පේ....
මෙහේ දේශපාලනේ නැති ලු. ටියුෂන් පංතිවලට පට්ට ගහපු කලිසම් ටිකයි, කමීස දෙකතුනකුයි දමන් එන්න, මල්ලක් හොයනකොට තමයි මට තේරුනෙ අම්මපා මං කොච්චර පොෂ් ද කියලා...



ඕං ඉතින් කොහොමහරි කොලොම්පුරේ සරසවියට ත් ආවයි කියමුකෝ...
මට දකින දකින හැම එකා ම පොෂ් ඩයල් වගේ... ඕං ටිකවෙලාවකින් දැක්කා t ෂර්ට්,ඩෙනිම ඇඳගත්තු රබර් කටු දෙකෙන් සැරසුන අපේ අයියලා කීපදෙනෙක්...ඒක මෙහේ සංස්කෘතිය. ඇති යාංතම්...
දැන් මට දැනෙන, පෙනෙන විදිය මිතුරා කිව්වා ට වඩා වෙනස්..
ඇත්තට ම මෙහෙත් පොෂ් ඩයල් අතලොස්සකි( පෙනෙන විදිය ).
උන් ඉන්නේ වෙනම ය. කන්නේ පොෂ් කෑම මිස කැන්ටිමේ උයන ඒවා නොවේ.
බොන්නේ කෝලා වර්ග මිස ප්ලේන් ටී නොවේ. මිත්‍රයා කියූ අවශ්‍යතා සියල්ල සපුරා තිඹුණ ත් මෙහේ බහුතරය මෙන් සාමාන්‍ය විදියට කල් ක්‍රියාව ගතකරන අනෙකාගේ දුකේ දී හිත උණුවන හඳවත් ඇත්තෝ නැතුවා නොවේ.
උන් කන්නේ ත් බහුතරය කන රු.25 කෑම එක ම ය. දුටු තැන වචනයක් හෝ නොදොඩා නොයති.
මෙන්න බොලේ වැඩක්....
හද්ද ඩොටෙන් ආපු සමහර කෙල්ලන් ට දැන් මුල මතක නැතිවෙලා..
පාරෙදි දැක්කත් උන් අපි අදුරන්නේ නෑ. උන් open කැන්ටීන් එකක දැකපු කාලයක් මතක නැත.
උන් ඇවිදින්නේ සමහර ශරීර අවයව නලලට ත් උඩින් තියාගෙන ය.
අඳින ඇඳුම් දැක්කා ම දුක හිතෙනවා...හ්ම් පොෂ් ඩයල් ගැන කථා ඇති.
මෙහේ අලයන් ලෙස හැඳින්වෙන අතලොස්සකි..සමහර පොෂ් ඩයල් ද අලයන් ලෙස හැඳින්වේ....
ඔවුන් දැකගත හැක්කේ lecture එක්කදී පමණි.campuss එකට එන්නේ lectures, assignments ඇති දින වලට පමණි...සමහරු කැමැත්තෙන් ම අලවී ඇත. සමහරු අලයන් බවට පත්කර ඇත..කෙනෙක් ස්ව කැමැත්තෙන් අලයන්වුනා දෙන්.නමුදු අලයන් ලෙස හන්වඩු ගැසීම මිනිස්කමට නිගාවකි...කොහොම හරි රතු මල්ලි කෙනෙක් දැක්කොත් කියවි තොපි ඔක්කෝම අල කියලා..පොෂ් ඩයල් ද උන්නා දෙන්..ඔවුන්ගේ මානය කෙදිනක හෝ දුරුවේවි.නැතත් අපට මොකෝ???

අතීතයේ අඳුරු සෙවනැළි...

සිත පහුරු ගාමින්
හඳවත දෙබෑ කරමින්
මා සතුට පැහැර ගන්නා
භිය, ශෝක, නින්දා.....
මා වග කිවයුතු නොවන
මා හිමිකරගත්තේ ද නැති
මා සන්තක වූ
අතීතයේ අදුරු සෙවනැළි
හඹා එයි පසුපස....
මා වරදක් කර නැත.
කරන්නට අදහසක් ද නැත
නමුත් කිම ද
මා අතැර නොයන්නේ...
නැගී බිඳෙන රැළි සේ...
ඇතිවී නැතිවන
මා සිතේ

අඳුරු සෙවනැළි....

තනිකම හොඳා.....


             හදේ දොරගුලු විවර කෙරුවෙමි
මගේ හදට නුඹ ආ නිසාවෙන්...
කඳුලු තරු කැට සඟව ගත්තෙමි
දමා යන්නට බැරි නිසාවෙන්...
පෑරුනා සිත, බොඳවුනා පෙම
සිත් රිදුම් වැඩිවූ නිසාවෙන්...
එපා එන්නට මගේ දිවියට
යලි ඉඩක් එහි නැති නිසාවෙන්...
හදේ දොරගුලු යලි වසන්නෙමි
පුරුදු තනිකම සුව නිසාවෙන්...
බිදුනු හදවත තව ම වැලපෙයි
මතකයන් මා ලඟ නිසාවෙන්....

__________________________________________________________

අත්තම්මා

බඩ ගගා, දණ ගගා
නැගිටින්නට වෙර දැරූ
පරම්පරා තුනක දූ පුතුන් ට
නුඹ අත දුන්නා අත්තම්මේ...
ජීවිතේ මහගිරිදඹ
තරණය කෙරුමට,
නුඹේ විරියත්, නුඹේ දිරියත්
සවිය දුන්නා අත්තම්මේ...
දෙපා වාරු නැති
බලා සිටි අද
එක්තැන්වී නුඹ අත්තමමේ...
නුඹේ දූ පුතුන් සදා ණයගැති යි
දිරිය මාතා අත්තම්මේ...
මතු සංසාරෙදි නිවන්දකින්නට
නුඹ කළ පින් ඇති
අත්තම්මේ...

තව ම මතකයි...


මතක්වුනා ඒ සුන්දර අතීතය
එතකොට අපි UCSC එකේ පොඩි උන්...
කොලොම්පුරේට හා හා පුරා කියලා පයගහපු කාලේ
තුන් දෙනා වාඩිවන ආසනේ,
හත් අට දෙනා
තෙරපි තෙරපි...
අපි අවා විස්සක් විතර
දකුණෙ ඉදන්
ඉරිදා සවස නුවර කෝච්චියේ...
කෝච්චිය අදත් එයි සුපුරුදු ලෙස
අපි ද තව ම එයි
ඒත්???

____________________________________

සතුට

මනුස්සයින් හැටියට අප කාගේ ත් බලාපොරොත්තුව සතුටින් ජීවත්වීම යි.
අපි මහන්සිවී ඉගෙන ගන්නේ ද ඒ වෙනුවෙනි. සමහර විට අප සතුටුවීමට කරනා යම් දෙයකින් තවෙකුට දුකක් හිමිවීමට ද් ඉඩ තිබේ..
"අද කාලා බීලා ජොලියෙ ඉදලා හෙට මැරුන ත් කමක් නෑ" යැයි සිතා ජීවත්වන පිරිසක් ද අප අතර සිටී...
අප සතුටු වන්නේ කෙසේ ද?? මොහොතක් සිතමු...

ඇසට ප්රිය දේ දැකීමෙන්, කණට මිහිරි දෙ ඇසීමෙන්, සුවඳ දේ ආඝ්රහනයෙන්, දිවට රස දේ කෑමෙන්, ගතට සුව දේ ස්පර්ශයෙන්...
අප කැමති දේවල් එක්රැස් කරගැනීම ද අප සතුටු වීමට කරනා ප්රධන දෙයකි. ඒ මුදල්, දේපල, යාන වාහන... ඔබ කැමති දෙයක් ඔබට ලැබුනොත්??? ඔබ කෙතරම් සතුටු වෙනවා ද??මා කැමති දෙයක් ලැබුනො ත් මා කෙතරම් සතුටු වෙනවාද??? එහි අනෙක් පැත්ත, අප කැමති දෙය අපට නොලැබුණො ත්??? අප කෙතරම් දුක්වෙනවා ද??? ඔබ අනුන් සතුටුකර සතුටුවී තිබේ ද???
තවෙකෙක් වෙනුවෙන් යමක් කැපකර, සුලු හෝ උදව්වක් කර සතුටුවී තිබේ ද??? ඔබ කැමැත්තෙන් ලඟ තබාගත් යමක්,
ඇබ්බැහිවී සිටි නරක පුරුද්දක් අත්හැරීමෙන් සතුටුවී තිබේ ද?? එවැනි දෙයකින් අප වෙනත් දෙයක් කිරීමෙන් දැනට ලබනවාට වඩා ලොකු සතුටක් ලැඹීමට අවස්ථාව උදාවනු ඇත..එය බසයක යන විට තවෙකුට තම ආසනය පරිත්යාග කිරීම, අසරණයෙකුටපිහිට වීම වැනිදෙයක් විය හැක.

ඔබ ජීවිතයේ කවරදාක හෝ තවෙකුගේ ජීවිතයක් බේරාගැනීමට හැකියාවක් ලැබුණි නම් ඉන් ඔබේ සිතට දැනෙන සතුට ඔබට ඔබගේ මුලු ජීවිත කාලයම සතුටින් සිටීමට ප්රමාණවත් ය...එය සිහිවන වාරයක් පාසා ඔබට සතුටු විය හැක...
අප තණ්හාවෙන් යමක් අප සතුකර ගැනීමට ගොස් එය නොලැඹීමෙන් දුක් විදිනවාට වඩා,
අප සතු දෙයක් තවත් කෙනෙකු වෙනුවෙන් අත් හැරීමෙන්, කැප කිරීමෙන් කෙතරම් සහනයක් ලැබේදැයි අත්හදා බලන්න....


_________________________________________________________________

බේබද්දෝ

වත්මන් සමාජයට පිළිලයක් බවට අද මත්පැන් පත්ව ඇත.
සෑම තරාතිරමක ම, සෑම සමාජ කොට්ටාශයක ම අඩු වැඩි ලෙස මතට ඇබ්බැහි වූවන් දැකගත හැක.
දුකට, සතුටට,ජොලියට, ආතල් එකට, කට්ටිය සෙට් වුනා ම යනාදී විවිධ හේතූන් මුල් කරගෙන බොහෝ දෙනා මත් ලෝලීන් බවට පත්ව ඇත."ඉඳ හිට පොඩි අඩියක් ගැහුවට කමක් නෑ, කොල්ලො උනා ම පොඩි අඩියක් ගහන්න ඕන" කියා සිතා සිටින පිරිසක් ද සිටී. සෞඛ්ය අතින් බැලුවත් මද්යසාර අක්මාව, වකුගඩු, මොළය අශ්රිත පටකයන්ට සෘජුව ම හානිකරනබව මේ සියළු දෙනා නොදන්නවා නොවේ...
අප රට ආක්රමණය කළ විදේශිකයින් පළමුව කලේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශකිරීමයි..
එසේ නොකර කවදාකවත් ඔවුන්ට අප රට අල්ලාගැනීමට නොහැකිබව ඔවුන්ට පසක්විය. එදා එකාවන් ව ජාතියක්සේ නැගීසිටි
අප ඔවුන්ගේ උගුලට අහුවිය.ඔවුන් අපව බේබදුකමට හුරුකරවිය. එතැන්පටන් අපේ සංස්කෘතිය විනාශ විය.රට ජාතිය පරිහාණියට පත් විය.අප යටත් වැසියන්, පරගැතියන් විය..බහුතරයක් බේබද්දෝ විය.සිංහලයා පිරිහුණි.

මෑත කාලීන ඉතිහාසය අරන් බැලුවහොත් අප මත්පැන් නිසා රටක්, ජාතියක් ලෙස කෙතරම් පිරිහෙලාදැයි දැකගත හැක.වරක් ලොව බහුතර බේබද්දන් සිටින රටවල් අතර මුල් තැනට පැමිණ තිබුණි.මත්පැන් නිසා අපට අහිමිවී ගිය දේ බොහෝ වෙති.
බහුතර ජනතාවගේ දරිද්රතාවට බේබදුකම ප්රධාන හේතුවක් වී ඇත.සාමාන්ය කම්කරුවෙක් සැලකුවහොත් බොහෝවිට ඔහුගේ දෛනික ආදායමෙන් අඩකටත් වඩා මත් පැන් සදහා වැයකරයි.මිනී මැරුම්, අඹු සැමි ගැටුම්, පවුල් ආරවුල් යනාදී නොයෙකුත් සමාජයීය හා සංස්කෘතික ගැටලු බහුතරයකට බේබදුකම හේතුවී ඇත.මත් පැනෙන් අපට ලැබෙන වාසියක් නොමැත. විවෘත ආර්ථිකයත් සමග මද්යසාරය විවිධ වෙස් වලාගෙන අප රට කරා පැමිණ ඇත.ඉතින් අපට කළ හැක්කේ කුමක් ද?මේ මහා විනාශයට ගොදුරුවී ඇත්තේ සිංහල බෞද්ධයා ය. දැනට අවුරුදු කිහිපයකට පෙර සෝම හිමියන් විසින් සිංහලයාට සිදුවී ඇති විපත පෙන්වාදී රටක් ලෙස ඉදිරියට යෑමට මහජනයා පොලඹවමින් විශාල මෙහෙයක් කරන ලදී.මතට ඇබ්බැහි වූවන් උත්සාහ කරනුයේ තවත් උන් තම ගොඩට එකතු කරගැනීමට යි.ඔවුන් තමන් වීරයන් ලෙසත් අනෙක් අය නපුංසකයන් ලෙසත් සලකති. ඒ ඔවුන්ගේ දුර්වල මානසිකත්වය යි. අප ඔවුන්ට අනුකම්පා කළ යුතු ය.

ඉතින් අප සිතිය යුත්තේ මේ යන විදියට ම යන්න ඉඩ දී අප ත් පිරීහී රට ත් පිරිහී ජාතියක් ජන්මයක් නොමැති කාලකණ්ණි හැත්තක් ලෙස යන රැල්ලට ම හසුවී එහි ගොදුරක් වෙනවාද??, නැතිනම් උඩුගම් බලා පිහිනනවාද කියා ය.

"අනිකා ඉස්සර වෙනතුරු බලා නොසිට, තම අතේ තිබෙන ගල් ගෙඩිය ඉලක්කයට ගසනු.එවිට අනෙක් උන්ද ඔබව අනුගමනය කරනු නිසැකය.."

___________________________________________________________

මායාව

හිරුත් නැති සඳ ත් නැති
කිසිදු තරුවක් ද නැති
ඝණදුරට ගොදුරක් ව තිබූ
පාලු සිත් අම්බරේ
පෑයූ එක ම තරුව නුඹයි.....
හිරු ත් නුඹ ම විය.
සඳු ත් නුඹ ම විය.........

එය මා දුටු සිහිනයකි
එනමුදු සුන්දර ය.
යතාර්ථයක් ද නැති මායාවකි....
මංමුලාවීමකි....
මොහොතකට පෑයූ
තරුවක් ම විය නුඹ...

කෙසේ වන්න ද මගේ දිවියට
ආලෝකයක් නුඹ...


________________________________________

ජීවිතය


නුඹ හරිම ගුප්ත ය.
විටෙක හරි ම සැහැල්ලු ය.
සතුටෙ හි උපරිමය ට යන්නේත්,
දුකෙ හි පතුලට ම යන්නේත් නුඹම ය.
විටෙක මා නුඹ ම වෙමි.

මා සිතා සිටියේ නුඹ මාගේ කියා ය.
නුඹ මට සදාකාලිකව ම හිමි නොවන්නකි.
නුඹ තාවකාලික ව මා ලද සම්පතකි.
නුඹ මට හිමි වූ දා සිට මා ණයගැතියෙක් මි.
කිසිදා එම ණයෙන් මට නිදහස් වීමට නොහැක.

මා සැමදා නුඹ ට පෙම් කරමි.
නුඹ රැක ගැනීම මා සතු පරම යුතුකමකි.
මා සැමදා වෙර දරන්නේ නුඹ ජයගැනීමට යි.
අන් සතු නොවන නුඹ සැමදා මගේ ම ය.
....වෙන කිසිවෙකුත් නොව නුඹ මාගේ ජීවිතය යි....

_____________________________________________________________

කාලෙකින් අසන්නට ලැඹුණ ලස්සන ගීතයක්...

ගඟට කපන ඉණි ගඟ දිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවෙයි බඹුට ත් මරු ලඟාවෙති
පිණට දුන්නු දේ පමණක් ඉතුරුවෙති.....

මලේ සුවඳ නැති වෙයි පෙති හැලුනා ම
ගතේ රුසිරු නැතිවෙයි රැළි වැටුනා ම
ගඟේ මහිම නැති වෙයි දිය සිදුනාම
දුන්දේ සුවඳ පවති ලොව හැමදා ම.....

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මව්ගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුඟියට දන්දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම.....

කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
අනුවණ කමෙන් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත්වෙන්න එපා......


සුනිල් එදිරිසිංහයන් විසින් ගායනාකරනු ලබන මෙම අර්ථාන්විත ගීතය අද ඇහෙන සමහර තුට්ටු දෙකේ ගීත හා කෙසේ සසඳන්න ද???
අහන්න කැමති අය මෙතනින් බාගතකරගන්න.
________________________________________________________


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.