දයාව, නුරාව



          පිරුණු ලැම දෙස
ඇරුණු ගවොම් කරෙන්
එඹිකම්පානා...
ගූඪ තැන්හි වින්දනයේ
පහස සොයන මිනිසා,
නුඹේ...
නුරාවෙන් පිරුණ රකුසු නෙතට
නොපෙනෙනෙ,
කුස පිරෙන්න කිරි බොමින්
ඇකයේ නිඳන ඇගෙ දරුවා...

මම ය.. මාගේ ය...

         මේ ඉන්නේ මම
ඔව් ඔව් ඔය පින්තූරයකු ත් දාලා තියෙන්...
මේ මම ලියපුවා...
ඒවා මගේ...
නේකවිද දේවල් මෙලොව
තව කොතෙක් තිබෙද මගේ කියා..
ඇත්තට ම ඒවා මගේ ද?
එතකොට මේ මම
ඇත්තට ම ඒ මම ද?

මේක හරි ජොලි ජීවිතේ



        උදේ ඉස්කෝලේ පටන්ගන්නා තුරු
හවසට කෙල්ලන් යලි එනතුරු
ගාමන්ට් යන කෙල්ලන් පාරේ පොදිකන තුරු
ජැන්ඩි පහට ඇඳගෙන
ජෙල් ටිකක් ගාගෙන
සෙන්ට් පුයරත් දමාගෙන
රෝද දෙකේ මනමාලයෝ...
එහෙට යනවා මෙහෙට යනවා...

අම්මලා අප්පලා හම්බුකරනකන්
ගෙදර ලිපේ බත් ඉදෙනකන්
ගජයො සෙට් එක වටේ ඉන්නකන්
පදිමු පදිමු ඇතිවෙනතුරු
මුරකරමු හැම හන්දියක්ම
මේක හරි ජොලි ජීවිතේ...

රස්සාවල් මොකටද
පන්නාගෙන එමු ඉස්කෝලෙ යන කෙල්ලක්..
යවමු හෙට ඉඳන් ගාමන්ට්...
මදි පාඩුවක් අම්මා අප්පාගෙන් ඉල්ලාගමු
ආයිත් පදිමු...පදිමු...
මේක හරි ජොලි ජීවිතේ...

පවුලට එකා දෙන්නා එකතුවෙනකොට
කෑම බීමත් ගෙදර හිඟවෙනකොට
කරපු කුප්ප වැඩ එළි දකිනකොට
ගෑණිගෙ සද්දෙත් වැඩිවී එනකොට
හට්ටි වළං පොඩි ගුවනින් යනකොට
හිටපු සෙට් එක අඩුවී යනකොට
අම්මා තාත්තා ත් පිහිටට නැතිකොට
ජොබ් හොය හොයා පිස්සු හැදෙනකොට
මේක හරි ජොලි ජීවිතේ...

ආවේගී පහර


දෘඩ වස්තුවක්ව පැවති මා ගත
ලුහු දඬු රාමුසැකිල්ලක් ලෙස ගිලන්ව
තෙරපුම් ආතති දරාගනිමින්
රළු පෘෂ්ඨයක් වූ මෙට්ටය මත
උදාසීන සමතුළිතතාවයේ ද
භ්‍රමණ චලිතයේ ද
විටෙක වෘත්ත චලිතයේ ද යෙදෙමින්
පූර්ණ ප්‍රත්‍යාස්ථ යැයි කිව නොහැකි පරිදි
දහසක් සිතුවිලි ගැටෙමින්
මන්දනය වෙමින් පැවති ධණාත්මක සිතුවිල්ල
නිසලවීමට ආසන්න මොහොතක
මට මතක්වුනා
ජීවිතය උඩු යටිකුරුකළ ඒ වචන ටික

"ජීවිතයේ සටන් නිරන්තරයෙන් ම
වඩා ශක්තිමත් හා වඩා වේගවත් ම මිනිසා විසින්
ජයගනු නොලැබේ...
ඉක්මනින් හෝ පමාවී හෝ
දිනන මිනිසා වන්නේ,
තමාට හැකි යැයි සිතන මිනිසාය... "


සියොලඟම දෙදරාගිය ආවේගී පහරින්
මා නැඟිටුණෙමි.
***
**
*


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.