පොෂ් ඩයල් සහ අලයෝ...


මා හුදෙක් මේ post එක ලියන්නේ කුමන හෝ පුද්ගලයෙක්, පුද්ගලයන් පිරිසකට අපහාස කිරීමට හෝ අපහසුතාවට පත්කිරීමට හෝ මඩ ගැසීමකට හෝ නොවන බව කරුණාවෙන් සලකන්න...මගේ බ්ලොග් එකේ විශ්වවිද්‍යාල ජීවිතය ගැනත් යමක් ලියන්න හිතුනා.. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ එයට ම ආවේණික වූ බොහෝ දේ අතරින් භාෂාවට හිමිවන්නේ විශේෂ තැනකි. එහි අමුතු ම වචන ගොඩකි. පොෂ් ඩයල් සහ අලයෝ ගැන මට අසන්නට ලැබුණේ මා සරසවියට ඒමට දින කිහිපයකට පෙර මුණ ගැසුනු මාගේ තවත් විශ්වවිද්‍යාල මිතුරෙකුගෙනි. ඔහුට අනුව පොෂ් ගොඩට බොහොමයක් අයිති වන්නේ කෙල්ලන් ය. ඔහු කී පරිදි යමෙක් පොෂ්වීමට සපුරාලියයුතු මූලික සුදුසුකම් කිහිපයක් ඇත.ඒවා මෙසේ ය.
මූලික ම දෙය ලෙස හොඳට පොලිෂ් වූ කඩ්ඩක්,
අත මිට යහමින් මුදල්,
කෙල්ලක් නම් ඇහැට කණට පෙනෙනෙ හොඳ රූප සෝභාවක්,
කොළඹ අවට පදිංචියක්
තිඹීම තවත් අනිවාර්ය්‍ය අවශ්‍යතාවක් බව ද ඔහු පැවසීය.
උන් වෙනම ම ගැට්ටක් ගහගෙනලු ඉන්නේ.
ගමන් බිමන් තම තමන්ගේ ම වාහන වලින් ලු.කථා කරන්නේ කඩ්ඩෙන් ම ලු.

අලයන් ලෙස හැඳින්වෙන්නේ අන්තරේට සම්බන්ධ නොවන වි.වි ශිෂ්‍යයන් ය.ඔහුට අනුව සමහර වි.වි මුලුමනින් ම අල වි.වි ලෙසත් තවත් සමහර වි.වි වල සමහර පීඨ පමණක් අලයන්ගෙන් සමන්විත වේ.
අන්තරය රජකරන තැන් වල ද අලයෝ නැතුවා නොවේ...ඒ මාගේ මිත්‍රයා මට පොෂ් සහ අලයන් හඳුන්වාදුන් ආකාරයයි...ඔහුට අනුව මම අලයෙකි.. මොකද බැලිඤ්ඤං අප්පේ....
මෙහේ දේශපාලනේ නැති ලු. ටියුෂන් පංතිවලට පට්ට ගහපු කලිසම් ටිකයි, කමීස දෙකතුනකුයි දමන් එන්න, මල්ලක් හොයනකොට තමයි මට තේරුනෙ අම්මපා මං කොච්චර පොෂ් ද කියලා...



ඕං ඉතින් කොහොමහරි කොලොම්පුරේ සරසවියට ත් ආවයි කියමුකෝ...
මට දකින දකින හැම එකා ම පොෂ් ඩයල් වගේ... ඕං ටිකවෙලාවකින් දැක්කා t ෂර්ට්,ඩෙනිම ඇඳගත්තු රබර් කටු දෙකෙන් සැරසුන අපේ අයියලා කීපදෙනෙක්...ඒක මෙහේ සංස්කෘතිය. ඇති යාංතම්...
දැන් මට දැනෙන, පෙනෙන විදිය මිතුරා කිව්වා ට වඩා වෙනස්..
ඇත්තට ම මෙහෙත් පොෂ් ඩයල් අතලොස්සකි( පෙනෙන විදිය ).
උන් ඉන්නේ වෙනම ය. කන්නේ පොෂ් කෑම මිස කැන්ටිමේ උයන ඒවා නොවේ.
බොන්නේ කෝලා වර්ග මිස ප්ලේන් ටී නොවේ. මිත්‍රයා කියූ අවශ්‍යතා සියල්ල සපුරා තිඹුණ ත් මෙහේ බහුතරය මෙන් සාමාන්‍ය විදියට කල් ක්‍රියාව ගතකරන අනෙකාගේ දුකේ දී හිත උණුවන හඳවත් ඇත්තෝ නැතුවා නොවේ.
උන් කන්නේ ත් බහුතරය කන රු.25 කෑම එක ම ය. දුටු තැන වචනයක් හෝ නොදොඩා නොයති.
මෙන්න බොලේ වැඩක්....
හද්ද ඩොටෙන් ආපු සමහර කෙල්ලන් ට දැන් මුල මතක නැතිවෙලා..
පාරෙදි දැක්කත් උන් අපි අදුරන්නේ නෑ. උන් open කැන්ටීන් එකක දැකපු කාලයක් මතක නැත.
උන් ඇවිදින්නේ සමහර ශරීර අවයව නලලට ත් උඩින් තියාගෙන ය.
අඳින ඇඳුම් දැක්කා ම දුක හිතෙනවා...හ්ම් පොෂ් ඩයල් ගැන කථා ඇති.
මෙහේ අලයන් ලෙස හැඳින්වෙන අතලොස්සකි..සමහර පොෂ් ඩයල් ද අලයන් ලෙස හැඳින්වේ....
ඔවුන් දැකගත හැක්කේ lecture එක්කදී පමණි.campuss එකට එන්නේ lectures, assignments ඇති දින වලට පමණි...සමහරු කැමැත්තෙන් ම අලවී ඇත. සමහරු අලයන් බවට පත්කර ඇත..කෙනෙක් ස්ව කැමැත්තෙන් අලයන්වුනා දෙන්.නමුදු අලයන් ලෙස හන්වඩු ගැසීම මිනිස්කමට නිගාවකි...කොහොම හරි රතු මල්ලි කෙනෙක් දැක්කොත් කියවි තොපි ඔක්කෝම අල කියලා..පොෂ් ඩයල් ද උන්නා දෙන්..ඔවුන්ගේ මානය කෙදිනක හෝ දුරුවේවි.නැතත් අපට මොකෝ???

අතීතයේ අඳුරු සෙවනැළි...

සිත පහුරු ගාමින්
හඳවත දෙබෑ කරමින්
මා සතුට පැහැර ගන්නා
භිය, ශෝක, නින්දා.....
මා වග කිවයුතු නොවන
මා හිමිකරගත්තේ ද නැති
මා සන්තක වූ
අතීතයේ අදුරු සෙවනැළි
හඹා එයි පසුපස....
මා වරදක් කර නැත.
කරන්නට අදහසක් ද නැත
නමුත් කිම ද
මා අතැර නොයන්නේ...
නැගී බිඳෙන රැළි සේ...
ඇතිවී නැතිවන
මා සිතේ

අඳුරු සෙවනැළි....

තනිකම හොඳා.....


             හදේ දොරගුලු විවර කෙරුවෙමි
මගේ හදට නුඹ ආ නිසාවෙන්...
කඳුලු තරු කැට සඟව ගත්තෙමි
දමා යන්නට බැරි නිසාවෙන්...
පෑරුනා සිත, බොඳවුනා පෙම
සිත් රිදුම් වැඩිවූ නිසාවෙන්...
එපා එන්නට මගේ දිවියට
යලි ඉඩක් එහි නැති නිසාවෙන්...
හදේ දොරගුලු යලි වසන්නෙමි
පුරුදු තනිකම සුව නිසාවෙන්...
බිදුනු හදවත තව ම වැලපෙයි
මතකයන් මා ලඟ නිසාවෙන්....

__________________________________________________________

අත්තම්මා

බඩ ගගා, දණ ගගා
නැගිටින්නට වෙර දැරූ
පරම්පරා තුනක දූ පුතුන් ට
නුඹ අත දුන්නා අත්තම්මේ...
ජීවිතේ මහගිරිදඹ
තරණය කෙරුමට,
නුඹේ විරියත්, නුඹේ දිරියත්
සවිය දුන්නා අත්තම්මේ...
දෙපා වාරු නැති
බලා සිටි අද
එක්තැන්වී නුඹ අත්තමමේ...
නුඹේ දූ පුතුන් සදා ණයගැති යි
දිරිය මාතා අත්තම්මේ...
මතු සංසාරෙදි නිවන්දකින්නට
නුඹ කළ පින් ඇති
අත්තම්මේ...

තව ම මතකයි...


මතක්වුනා ඒ සුන්දර අතීතය
එතකොට අපි UCSC එකේ පොඩි උන්...
කොලොම්පුරේට හා හා පුරා කියලා පයගහපු කාලේ
තුන් දෙනා වාඩිවන ආසනේ,
හත් අට දෙනා
තෙරපි තෙරපි...
අපි අවා විස්සක් විතර
දකුණෙ ඉදන්
ඉරිදා සවස නුවර කෝච්චියේ...
කෝච්චිය අදත් එයි සුපුරුදු ලෙස
අපි ද තව ම එයි
ඒත්???

____________________________________

සතුට

මනුස්සයින් හැටියට අප කාගේ ත් බලාපොරොත්තුව සතුටින් ජීවත්වීම යි.
අපි මහන්සිවී ඉගෙන ගන්නේ ද ඒ වෙනුවෙනි. සමහර විට අප සතුටුවීමට කරනා යම් දෙයකින් තවෙකුට දුකක් හිමිවීමට ද් ඉඩ තිබේ..
"අද කාලා බීලා ජොලියෙ ඉදලා හෙට මැරුන ත් කමක් නෑ" යැයි සිතා ජීවත්වන පිරිසක් ද අප අතර සිටී...
අප සතුටු වන්නේ කෙසේ ද?? මොහොතක් සිතමු...

ඇසට ප්රිය දේ දැකීමෙන්, කණට මිහිරි දෙ ඇසීමෙන්, සුවඳ දේ ආඝ්රහනයෙන්, දිවට රස දේ කෑමෙන්, ගතට සුව දේ ස්පර්ශයෙන්...
අප කැමති දේවල් එක්රැස් කරගැනීම ද අප සතුටු වීමට කරනා ප්රධන දෙයකි. ඒ මුදල්, දේපල, යාන වාහන... ඔබ කැමති දෙයක් ඔබට ලැබුනොත්??? ඔබ කෙතරම් සතුටු වෙනවා ද??මා කැමති දෙයක් ලැබුනො ත් මා කෙතරම් සතුටු වෙනවාද??? එහි අනෙක් පැත්ත, අප කැමති දෙය අපට නොලැබුණො ත්??? අප කෙතරම් දුක්වෙනවා ද??? ඔබ අනුන් සතුටුකර සතුටුවී තිබේ ද???
තවෙකෙක් වෙනුවෙන් යමක් කැපකර, සුලු හෝ උදව්වක් කර සතුටුවී තිබේ ද??? ඔබ කැමැත්තෙන් ලඟ තබාගත් යමක්,
ඇබ්බැහිවී සිටි නරක පුරුද්දක් අත්හැරීමෙන් සතුටුවී තිබේ ද?? එවැනි දෙයකින් අප වෙනත් දෙයක් කිරීමෙන් දැනට ලබනවාට වඩා ලොකු සතුටක් ලැඹීමට අවස්ථාව උදාවනු ඇත..එය බසයක යන විට තවෙකුට තම ආසනය පරිත්යාග කිරීම, අසරණයෙකුටපිහිට වීම වැනිදෙයක් විය හැක.

ඔබ ජීවිතයේ කවරදාක හෝ තවෙකුගේ ජීවිතයක් බේරාගැනීමට හැකියාවක් ලැබුණි නම් ඉන් ඔබේ සිතට දැනෙන සතුට ඔබට ඔබගේ මුලු ජීවිත කාලයම සතුටින් සිටීමට ප්රමාණවත් ය...එය සිහිවන වාරයක් පාසා ඔබට සතුටු විය හැක...
අප තණ්හාවෙන් යමක් අප සතුකර ගැනීමට ගොස් එය නොලැඹීමෙන් දුක් විදිනවාට වඩා,
අප සතු දෙයක් තවත් කෙනෙකු වෙනුවෙන් අත් හැරීමෙන්, කැප කිරීමෙන් කෙතරම් සහනයක් ලැබේදැයි අත්හදා බලන්න....


_________________________________________________________________

බේබද්දෝ

වත්මන් සමාජයට පිළිලයක් බවට අද මත්පැන් පත්ව ඇත.
සෑම තරාතිරමක ම, සෑම සමාජ කොට්ටාශයක ම අඩු වැඩි ලෙස මතට ඇබ්බැහි වූවන් දැකගත හැක.
දුකට, සතුටට,ජොලියට, ආතල් එකට, කට්ටිය සෙට් වුනා ම යනාදී විවිධ හේතූන් මුල් කරගෙන බොහෝ දෙනා මත් ලෝලීන් බවට පත්ව ඇත."ඉඳ හිට පොඩි අඩියක් ගැහුවට කමක් නෑ, කොල්ලො උනා ම පොඩි අඩියක් ගහන්න ඕන" කියා සිතා සිටින පිරිසක් ද සිටී. සෞඛ්ය අතින් බැලුවත් මද්යසාර අක්මාව, වකුගඩු, මොළය අශ්රිත පටකයන්ට සෘජුව ම හානිකරනබව මේ සියළු දෙනා නොදන්නවා නොවේ...
අප රට ආක්රමණය කළ විදේශිකයින් පළමුව කලේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශකිරීමයි..
එසේ නොකර කවදාකවත් ඔවුන්ට අප රට අල්ලාගැනීමට නොහැකිබව ඔවුන්ට පසක්විය. එදා එකාවන් ව ජාතියක්සේ නැගීසිටි
අප ඔවුන්ගේ උගුලට අහුවිය.ඔවුන් අපව බේබදුකමට හුරුකරවිය. එතැන්පටන් අපේ සංස්කෘතිය විනාශ විය.රට ජාතිය පරිහාණියට පත් විය.අප යටත් වැසියන්, පරගැතියන් විය..බහුතරයක් බේබද්දෝ විය.සිංහලයා පිරිහුණි.

මෑත කාලීන ඉතිහාසය අරන් බැලුවහොත් අප මත්පැන් නිසා රටක්, ජාතියක් ලෙස කෙතරම් පිරිහෙලාදැයි දැකගත හැක.වරක් ලොව බහුතර බේබද්දන් සිටින රටවල් අතර මුල් තැනට පැමිණ තිබුණි.මත්පැන් නිසා අපට අහිමිවී ගිය දේ බොහෝ වෙති.
බහුතර ජනතාවගේ දරිද්රතාවට බේබදුකම ප්රධාන හේතුවක් වී ඇත.සාමාන්ය කම්කරුවෙක් සැලකුවහොත් බොහෝවිට ඔහුගේ දෛනික ආදායමෙන් අඩකටත් වඩා මත් පැන් සදහා වැයකරයි.මිනී මැරුම්, අඹු සැමි ගැටුම්, පවුල් ආරවුල් යනාදී නොයෙකුත් සමාජයීය හා සංස්කෘතික ගැටලු බහුතරයකට බේබදුකම හේතුවී ඇත.මත් පැනෙන් අපට ලැබෙන වාසියක් නොමැත. විවෘත ආර්ථිකයත් සමග මද්යසාරය විවිධ වෙස් වලාගෙන අප රට කරා පැමිණ ඇත.ඉතින් අපට කළ හැක්කේ කුමක් ද?මේ මහා විනාශයට ගොදුරුවී ඇත්තේ සිංහල බෞද්ධයා ය. දැනට අවුරුදු කිහිපයකට පෙර සෝම හිමියන් විසින් සිංහලයාට සිදුවී ඇති විපත පෙන්වාදී රටක් ලෙස ඉදිරියට යෑමට මහජනයා පොලඹවමින් විශාල මෙහෙයක් කරන ලදී.මතට ඇබ්බැහි වූවන් උත්සාහ කරනුයේ තවත් උන් තම ගොඩට එකතු කරගැනීමට යි.ඔවුන් තමන් වීරයන් ලෙසත් අනෙක් අය නපුංසකයන් ලෙසත් සලකති. ඒ ඔවුන්ගේ දුර්වල මානසිකත්වය යි. අප ඔවුන්ට අනුකම්පා කළ යුතු ය.

ඉතින් අප සිතිය යුත්තේ මේ යන විදියට ම යන්න ඉඩ දී අප ත් පිරීහී රට ත් පිරිහී ජාතියක් ජන්මයක් නොමැති කාලකණ්ණි හැත්තක් ලෙස යන රැල්ලට ම හසුවී එහි ගොදුරක් වෙනවාද??, නැතිනම් උඩුගම් බලා පිහිනනවාද කියා ය.

"අනිකා ඉස්සර වෙනතුරු බලා නොසිට, තම අතේ තිබෙන ගල් ගෙඩිය ඉලක්කයට ගසනු.එවිට අනෙක් උන්ද ඔබව අනුගමනය කරනු නිසැකය.."

___________________________________________________________

මායාව

හිරුත් නැති සඳ ත් නැති
කිසිදු තරුවක් ද නැති
ඝණදුරට ගොදුරක් ව තිබූ
පාලු සිත් අම්බරේ
පෑයූ එක ම තරුව නුඹයි.....
හිරු ත් නුඹ ම විය.
සඳු ත් නුඹ ම විය.........

එය මා දුටු සිහිනයකි
එනමුදු සුන්දර ය.
යතාර්ථයක් ද නැති මායාවකි....
මංමුලාවීමකි....
මොහොතකට පෑයූ
තරුවක් ම විය නුඹ...

කෙසේ වන්න ද මගේ දිවියට
ආලෝකයක් නුඹ...


________________________________________

ජීවිතය


නුඹ හරිම ගුප්ත ය.
විටෙක හරි ම සැහැල්ලු ය.
සතුටෙ හි උපරිමය ට යන්නේත්,
දුකෙ හි පතුලට ම යන්නේත් නුඹම ය.
විටෙක මා නුඹ ම වෙමි.

මා සිතා සිටියේ නුඹ මාගේ කියා ය.
නුඹ මට සදාකාලිකව ම හිමි නොවන්නකි.
නුඹ තාවකාලික ව මා ලද සම්පතකි.
නුඹ මට හිමි වූ දා සිට මා ණයගැතියෙක් මි.
කිසිදා එම ණයෙන් මට නිදහස් වීමට නොහැක.

මා සැමදා නුඹ ට පෙම් කරමි.
නුඹ රැක ගැනීම මා සතු පරම යුතුකමකි.
මා සැමදා වෙර දරන්නේ නුඹ ජයගැනීමට යි.
අන් සතු නොවන නුඹ සැමදා මගේ ම ය.
....වෙන කිසිවෙකුත් නොව නුඹ මාගේ ජීවිතය යි....

_____________________________________________________________

කාලෙකින් අසන්නට ලැඹුණ ලස්සන ගීතයක්...

ගඟට කපන ඉණි ගඟ දිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවෙයි බඹුට ත් මරු ලඟාවෙති
පිණට දුන්නු දේ පමණක් ඉතුරුවෙති.....

මලේ සුවඳ නැති වෙයි පෙති හැලුනා ම
ගතේ රුසිරු නැතිවෙයි රැළි වැටුනා ම
ගඟේ මහිම නැති වෙයි දිය සිදුනාම
දුන්දේ සුවඳ පවති ලොව හැමදා ම.....

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මව්ගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුඟියට දන්දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම.....

කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
අනුවණ කමෙන් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත්වෙන්න එපා......


සුනිල් එදිරිසිංහයන් විසින් ගායනාකරනු ලබන මෙම අර්ථාන්විත ගීතය අද ඇහෙන සමහර තුට්ටු දෙකේ ගීත හා කෙසේ සසඳන්න ද???
අහන්න කැමති අය මෙතනින් බාගතකරගන්න.
________________________________________________________


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.