වමාරා කෑම

        ඇයගේ අතීතයේ ඔහු ද
        ඔහුගෙ අතීතයේ ඇය ද
               නැත
      එනමුදු තව බොහේ අය සිට ඇත
             එහෙයින්
       ඔවුන්ට අනාගතයක් නැති ද?

උස් තැන් සහ මිටි තැන්


    පරිවාර වාහන හත අටක් වටකර
    පොළිස් සයිරන් නළා හඬවමින්
    යයි හැටට හැටේ
    ප්‍රභූ මැතිදුන්

    හිස නමා ආචාර කරයි රාළහාමි
    සසරෙ පිං කර නොමැති එලෙසින්
    පොදු මහජනයා
    යති තනි කකුළෙන් එල්ලී පාපුවරුවේ
    දහදිය පෙරාගෙන
    පැය ගනන් හිර වෙවී තද බදේ

    නැවතුවා බස් රථය 
    අපේ රාළහාමි
    බහිනව තමුසෙලා 
    තුන් දෙනාව ම
    දාහ ගානේ හැම දෙනාට ම
    ලියුවා දඩ කොළේ...
    


ඈ අසරණයි


   සොයයි නම්බූ නාම
   බලයි කුළ මළ
   යාන වාහන
   වතුපිටි යහමින්
   තිබේදැයි
   සහකරුවාට
   අතැඟිලි බඳිනට
   තම දියණියට
   ලන්සු තබති ගණුදෙනුකරුවන් වටවී
   ලොවට හොරා රහසේ ඉකිබිඳියි ඇය
   අතීතයේ දිනයක තම වටිනා දෑ සියල්ල
   පුද දී අවසන් වූ කල
   හොර රහසෙ සැඟවගිය
   සත්‍යප්‍රේම භෘංගරාජයා
   කළ හදිය සිහිවී...

හෘදසාක්ෂිය



  ලොවට හොරෙන්
  කරන කෙරුම්
  රඟන රැඟුම් 
  මේ ලොව දනී තවෙකෙක්

  දිනක් පැමිණෙයි
  විත්ති කූඩුවට නඟිනා
  මායාවේ දුහුල් සළුව ලිහී
  සියළු චෝදනාවලට වැරදිකරුවන
  සිතන වාරයක් පාසා
  බරපතල වැඩ සහිත
  දඩුවම් විඳිනා
  හෘද සාක්ෂියේ අධිකරණයේ

තණ්හාව


   අත්හැරීම
   සංකල්පයක් ම වී
   බණමඩුවල කථා ඇතුලෙ
   පුස්කාපු තැටිවල
   පරණ වෑර්ලස් හඩින්
   කොතෙක් ඇහුනත්
   පිම්මෙ දුවන අපිට
   මොන අත්හැරීම් ද
   තව පොදි බඳිනව මිසක්
   කිනම් සංතුෂ්ඨියක්ද
   කිනම් නිවනක්ද

යන්නට වරම් ලැබෙයිද


    පමාවී පැමිණි දුම්රියේ
    පාපුවරුවේ යාන්තමට කකුල තියන්
    එල්ලී පැමිණි මේ දුර ගමනේ
    ටිකෙන් ටික සෙනඟ බැසගොසින්

    යාන්තමින් රිංගාගෙන
    අසුනකට වාරු දී සිටී මොහොතේ 
    හදිසියේ බැසගිය කෙනාගේ
    අසුනේ පුරප්පාඩුව පිරවීමට වරම් ලදී

    සැප අසුනේ සුවපහසුව මැද
    අවට සිරි නරඹමින්
    සිහිල් සුළං රැල්ලක පහස විඳිමින්
    මටත් නොදැණුවත්වම
    සුව නින්දේ පසුවු මා
    හදිසියේ ඇහැරුණෙමි
    මම ටිකට් ගත්තෙ නැහැනෙ

    කමක් නෑ
    ඔන්න ඔහේ තව ටිකක් නිදාගන්නව

පව්කාරයාට ගල් ගැසිම

කුහක භියසුල්ලෝ


      සැබෑ ලෝකයේ
      ස්ත්‍රී දූෂණ
      මිනී මැරුම්
      කොල්ලකෑම්
      ළමා අපචාර
      නේකවිද අපරාද
      ඉවසා නොදැක්කාසේ ඉන්න අපි
      කාගෙහරි
      ප්‍රබන්ධයක, නිර්මාණයක
      ඒවා දකිද්දි
      නිර්මණකරුවාට එරෙහිව
      අවි අමෝරා නැඟී සිටින හැටි

සරාගී


  ගිනියම් පොළොව 
  අඟල් හතරෙ ගඩොලින් වෙන්වුනු
  ටකරන් වහලෙ ගෙවල්
  බීගෙන ආපු බේබද්දෙකුගෙ,
  බලු කුණුහරුප මැදින්
  ගෑණිට තඩිබාන සද්දෙ

  අඩ අඳුරෙ
  කෙල්ලෙක් තාප්පෙට හේත්තු කරන්
  කට කන කොල්ලෙක්

  ජංගි කොටයක් ඇඳගත් කැහැටු ළමයෙක්
  බඩගින්නෙ මොරදෙයි

  බලු බෙටි උඩින් පැන පැන 
  අඩි දෙකේ පාරෙන් ඇදී එන සුර දෙව්දුව
  පාටකළ දෙතොල්
  සරාගී දෙණුවන්
  පිරුණු ලැම
  පැද්දෙන නිතඹ

  කාර් රථයක දොර ඇරෙයි..

  පැය කිහිපයකින් ඇය යළිත්.
  දෙපසට විසි වෙවි
  දෙස් දෙවොල් හා කන්නලව්වක්
  පිරිමි සනුහරේටම....

අත්තම්මා



         කුසට නොකා නුඹ අප සැනසු හැටි
         අප රැක ගන්නට දුක් වින්ඳ හැටි
         ලෙඩට දුකේදී ලඟින් සිටී හැටි
         යහ මඟ යන්නට පාර කිවූ හැටි
         .....................

         ආසයි මට නුඹෙ ඉහ ඉද්දරින් ඇළවෙන්න
         නුඹේ කවියකින් සැනසෙන්න
         නුඹට කියා මගෙ හිස පිරිමැදගන්න
         නුඹේ උණුසුමෙ වැතිර සිටින්න
         ......................

         අපි වෙනුවෙන් නුඹ පැතු ලෝකයට
         අපි අද යමින් සිටිනා අතරේ
         ඒ සතුට විඳගන්න නුඹ නැති මොහොතක
         ඒ අඩුව දැනේ හද පතුලට ම
         ......................

         සිටිනා ලෝකෙක යෙහෙන් වැජබෙන්නයි
         මතු සංසාරෙදි නිවන් දකින්නයි
         උපදින මතු ඳා නුඹෙ ම පුතු වන්නයි
         අත්තම්මා නොව නුඹ මාගෙ අම්මයි....


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.