සංතුෂ්ඨිය

     
මුළු දවසෙ ම
වේලි වේලි හිටියා හොඳට ම ඇති
තවත් ඉන්න බෑ
පට්ට බඩගිනියි
පාන් කෑල්ලක්වත් කන්න ඕන
*
*
*
...හ්ම්...
*
පට්ට රහක් නොවැ තියෙන්නෙ
මේ වගේ දිව්‍ය භෝජනයක් තව කොයින් ද
*
*
*
...ෂික්...
*
ෆ්‍රයිඩ් රයිස් ඇවිල්ලා
පාන් කියන්නෙ කෑමක් ද
තව ටිකක් ඉවසුවානම්
*
දැන් බඩ පිරිලා
ඒත් තව කන්න පුළුවන්
*
*
*
පහුවෙලා බැරියැ
*****

දයාව, නුරාව



          පිරුණු ලැම දෙස
ඇරුණු ගවොම් කරෙන්
එඹිකම්පානා...
ගූඪ තැන්හි වින්දනයේ
පහස සොයන මිනිසා,
නුඹේ...
නුරාවෙන් පිරුණ රකුසු නෙතට
නොපෙනෙනෙ,
කුස පිරෙන්න කිරි බොමින්
ඇකයේ නිඳන ඇගෙ දරුවා...

මම ය.. මාගේ ය...

         මේ ඉන්නේ මම
ඔව් ඔව් ඔය පින්තූරයකු ත් දාලා තියෙන්...
මේ මම ලියපුවා...
ඒවා මගේ...
නේකවිද දේවල් මෙලොව
තව කොතෙක් තිබෙද මගේ කියා..
ඇත්තට ම ඒවා මගේ ද?
එතකොට මේ මම
ඇත්තට ම ඒ මම ද?

මේක හරි ජොලි ජීවිතේ



        උදේ ඉස්කෝලේ පටන්ගන්නා තුරු
හවසට කෙල්ලන් යලි එනතුරු
ගාමන්ට් යන කෙල්ලන් පාරේ පොදිකන තුරු
ජැන්ඩි පහට ඇඳගෙන
ජෙල් ටිකක් ගාගෙන
සෙන්ට් පුයරත් දමාගෙන
රෝද දෙකේ මනමාලයෝ...
එහෙට යනවා මෙහෙට යනවා...

අම්මලා අප්පලා හම්බුකරනකන්
ගෙදර ලිපේ බත් ඉදෙනකන්
ගජයො සෙට් එක වටේ ඉන්නකන්
පදිමු පදිමු ඇතිවෙනතුරු
මුරකරමු හැම හන්දියක්ම
මේක හරි ජොලි ජීවිතේ...

රස්සාවල් මොකටද
පන්නාගෙන එමු ඉස්කෝලෙ යන කෙල්ලක්..
යවමු හෙට ඉඳන් ගාමන්ට්...
මදි පාඩුවක් අම්මා අප්පාගෙන් ඉල්ලාගමු
ආයිත් පදිමු...පදිමු...
මේක හරි ජොලි ජීවිතේ...

පවුලට එකා දෙන්නා එකතුවෙනකොට
කෑම බීමත් ගෙදර හිඟවෙනකොට
කරපු කුප්ප වැඩ එළි දකිනකොට
ගෑණිගෙ සද්දෙත් වැඩිවී එනකොට
හට්ටි වළං පොඩි ගුවනින් යනකොට
හිටපු සෙට් එක අඩුවී යනකොට
අම්මා තාත්තා ත් පිහිටට නැතිකොට
ජොබ් හොය හොයා පිස්සු හැදෙනකොට
මේක හරි ජොලි ජීවිතේ...

ආවේගී පහර


දෘඩ වස්තුවක්ව පැවති මා ගත
ලුහු දඬු රාමුසැකිල්ලක් ලෙස ගිලන්ව
තෙරපුම් ආතති දරාගනිමින්
රළු පෘෂ්ඨයක් වූ මෙට්ටය මත
උදාසීන සමතුළිතතාවයේ ද
භ්‍රමණ චලිතයේ ද
විටෙක වෘත්ත චලිතයේ ද යෙදෙමින්
පූර්ණ ප්‍රත්‍යාස්ථ යැයි කිව නොහැකි පරිදි
දහසක් සිතුවිලි ගැටෙමින්
මන්දනය වෙමින් පැවති ධණාත්මක සිතුවිල්ල
නිසලවීමට ආසන්න මොහොතක
මට මතක්වුනා
ජීවිතය උඩු යටිකුරුකළ ඒ වචන ටික

"ජීවිතයේ සටන් නිරන්තරයෙන් ම
වඩා ශක්තිමත් හා වඩා වේගවත් ම මිනිසා විසින්
ජයගනු නොලැබේ...
ඉක්මනින් හෝ පමාවී හෝ
දිනන මිනිසා වන්නේ,
තමාට හැකි යැයි සිතන මිනිසාය... "


සියොලඟම දෙදරාගිය ආවේගී පහරින්
මා නැඟිටුණෙමි.
***
**
*

..ඔව් ඒ මම තමා..



            
මම
ඔව්
ඒ මම තමා
*
*
මතක නැද්ද
ඇයි යකෝ ඔහොම බලන්නේ
ඉස්සර උඹලත් එක්ක
හන්දිගානේ රස්තියාදු ගැහුවේ
කුරුම්බා ගස් පාලුකරේ
මුළු දවසෙම වෙලේ කරක්ගැහුවේ
*
*
මම
ඔව්
ඒ මම තමා
*
*
ඔව් යකෝ
අවුරුදු හත අටකට කලින්
තොපිත් එක්ක
ඒ හිටිය එකා තමා
අවස්ථාවක් දීලා බලාපල්ලා
තවම මම උඹලගේ එකෙක් කියලා පෙන්වන්න
තවමත් ඒ ලෙංගතුකම හිතේ තියෙනවා
මේං එබිලා බලාපන්
*
*
අතීතයෙ දවසක
සිතුවිල්ලකට එහා නොතිබූ නුදුරු බව
මෙදා අහස පොළොව තරම් දුරස්ව
පාර තොටේ හමුවෙන අපි
නන්නාඳුනන උන් වගේ
වෙන්වෙන අපූරුව
*
*
මම තොපිට කරපු
වරද කියාපල්ලා
*
*
මම
එදා තිස්ස
දැන් පියල්
හෙට
සවිමන් කබලානට
සමකරන්නද තොපි වෙරදරන්නෙ
*
*
මේ අපේ එකෙක් කියලා
සතුටු වෙයල්ලා
කුහක කම් අතෑරලා
වරෙන්
තවම මම
මම
*
*

සිතක මහිමය හැඳිනගනී නුඹ..



සිතේ දුර්වල තැන් සොය සොයා
සිඳී බිඳී ගිය කැබලිති රැගෙන තනන්නට යන
පෙර දිනයක නුඹ ම කඩා බිමහෙලූ
අපේ සිහින මාලිගය...

නුඹෙ කඳුළු මගේ කඳුළු වූ අතීතයේ
මගේ කඳුළු නුඹේ සතුට හැරුණු අපූරුව
කියාපාන මේ ජීවිතේ හරුපය
කෙදිනක හෝ හැඳින ගනී නුඹ..

ගැල පසු නෑර යන රිය සක මෙන්
පසුපස හබා එන නුඹේ වද වේදනා
පාරාවළල්ලක්වී නුඹ කරා එනදා
තමන්ට තමනුත් නැතිව යනු ඇත...

මිරිඟුව පසුපස යන මුවැත්තියක් බඳු නුඹ
දෙපා බෙලහීනව ඇදවැටෙන දිනයක
පිපාසිත මුව දිය සොයන පරිද්දෙන්
සිතක මහිමය හැඳිනගනී නුඹ..

යථාර්තය මෙය නොවේ ද....



නන්දා මාලනියන් විසින් ගයනු ලබන මෙම ගීතයෙන් කියවෙන්නේ අපගේ සමාජ යථාර්තය නොවේ ද??

මගේ ගම


              නේක විද මල් ගොමුවල සුවඳ රැගෙන
ගඳපාන, බෝවිටියා ගස් අතරින්
පෙරී ආපු ඒ සිහිල් හුලඟ වෙනුවට හමා එන
අව්වට රත්වී කැකෑරුණ දූවිලි හුලඟේ
දෙසවන් පිනවූ විහඟ හඩ වෙනුවට ඇසෙනා
තුට්ටු දෙකේ ගායකයෙකුගේ මළ අඳෝනාවක් තුල,
මහ කැළය පරදා අහස උසට නැගුණු ගඩොල් බිත්ති අතරින්
අපේ කියා එකෙක් සොයාගත නොහැකි මුහුණු සියගණන් මැද
සොයමි මම
මා දුව පැන හැදී වැඩුණ

*....... මගේ ගම.......*

මල් සහ පැණියෝ...


කාලෙකින් බ්ලොග් එකට මුකුත් ලියන්නත් බැරිවුණා...
නිතර සිතට නැඟුණ අදහස් ටිකක් හා මේ දවස්වල සිතට වදදෙන සිතුවිලි ටිකක් ගලපන්නයි අද හදන්නේ..
නා නා විද මල්...එක එක පාට..එක එක සුවඳින්.. සමහර ඒවා පිපෙන්නට ත් කලියෙන් සුන්දරයි..ඔය අතරෙ මෙලෝ රහක් නැති මලුත් නැතුවාම නොවේ. සමහර මල්වල ලස්සන විතරයි.සුවඳක් නෑ. සුවඳ සමහර මල් ලස්සන නෑ..ලස්සන මල් හැම එකක් ම සුවඳ ත් නෑ.. සමහර මල් පිපෙන්නේ ඇසට පෙනෙන මානයේ.. අත ගැටෙන මායිමේ.. සමහර ඒවා තහනම් ගස්වල, ලංවෙන්නට නොහැකි උස අතුවල සමහර මල් තව ම කාගේවත් නෙත ගැටිලා නෑ...

එතකොට පැණියෝ??
ඒ තමා පැණි උරන්නෝ.. පැණි උරන බඹරු, මීමැස්සෝ, සමනල්ලුන්ගෙ වැඩේ ඉතින් මල් පස්සේ යන එක තමයි..
වෙලාවකට හිතෙනො මල්, තමන් ලඟට එන්න කියලා අඩගහනවද කියල ත්. ඕවා ඉතින් මල් තමා දන්නේ.. සමහර බඹරුන්ට මල්වල සුවඳ වැදගත් නෑ.. උන්ට ඕන ලස්සන විතරයි... පැණි විතරයි.. සමහර බඹරු නහින්නෙ ත් මල් නිසාම තමා... බඹරු ඉතින් මල් හොයාගෙන යන්නේ පැණි උදෙසා ම තමා... නෑ කියන බඹරෙක් නම් තව ම මට මුණගැහිලා නෑ..
ස්ත්‍රිය ත් හරියට මලක් වගේ..ඒක ප්‍රසිද්ධ කියමනක්. මම හිතන විදියට මල් ගැන කියපු ගොඩක් දේවල් ස්ත්‍රියට අදාලයි.. වැදගත් ම දේ තමයි ඔය සුවඳයි ලස්සනයි සාපේක්ෂ වීම. එකෙක් ට ලස්සනට සුවඳට පෙනෙන දේ තව එකෙක්ට කැත ගඳගහන එකක්.. ගැහැණියක් කොහොමද සුවඳ වෙන්??? මොනාහරි සුවඳ ගහන දෙයක් ගාල ද?
නෑ... ඇත්තට ම ඇය සතු ගති ගුණ වලින් තමයි ඇගේ ජීවිතේ සුවඳ හෝ ගඳ ගහන එකක් වෙන්..එතකොට පිරිමි?
ගොඩක් උන් බඹරු තමා.. එක මලකින් සෑහීමට පත්වෙන්නේ නෑ.. සමහරු දකින දකින මල් පස්සේ යනෝ.. කොහොම උන ත් එක මලක් පමණක් පතාගෙන ඉන්න බඹරු වාගේ ම එක බඹරෙක් ව පමණක් පතන මල් නැතුවා ම නොවේ.
සමහර පිරිමිත් පැණි උරන්නෝ වගේ.. එක ගැහැණියක්(පෙම්වතියක්)ගෙන් සෑහීමකට පත්වෙන්නේ නෑ.. උන් තමන්ට අවශ්‍ය දේ කරගෙන තවත් එකෙක් හොයාගෙන යනෝ.. සමහර ගැහැණු ත් එහෙම තමා.සමහර ගැහැණු පෙති හැලුණ මල් වගේ..ජීවිතේ වටිනා කියන දේවල් නැතිකරගෙන.. සමහර කෙල්ලෝ මල් වට්ටි වගේ අතින් අතට යනෝ.. ඒ වාගේ ම බිරියට,පෙම්වතියට හොරා වෙනත් ගැහැණුන් හොයාගෙන යන බඹරු වගේ පිරිමි ත් අද සමාජයේ කෙතරම් ඉන්නවා ද??


පිරිමියෙක් එක් ගැහැණියකගෙනු ත්, ගැහැණිය එක් පිරිමියකගෙනු ත් සෑහීමකට පත්වෙනවා යැයි කියන බෝඩ් එකක් අප සමාජ සංස්කෘතිය තුල ගසාගෙන ඇතිමුත් ලොවට හොරා මේ පුංචි රටේ කෙතරම් කියලා අවලම් වැඩ වෙනවාද?? පිරිමින්ගෙ අවලම් වැඩ නිසා අසරණ කෙල්ලන්, ගැහැණුන්, උන් වදාපු දරුවෝ කී දෙනෙක් මේ වෙද්දි දුක් විඳිනවා ද?? ඒ වාගේම අවලමේ ගිහින් තමන්ගේ වටිනා ජීවිත වනසගත් ගැහැණු(කෙල්ලන්) මේ රටේ කොතෙකු ත් සිටිනවා ද?? අවලමේ යන උන් ටික දවසක් යද්දි ඒකට ඇබ්බැහිවෙනෝ.. ගොඩක් උන් දන්නවා උන් කරන්නෙ වැරැද්දක් කියලා.. ඒ උනාට සමහර උන් දන්නෙත් නෑ උන් කරන්නෙ වැරැද්දක් කියලා. ඒ වගේ ම අවලමේ යන ගැහැණුන්, පිරිමින් ගේ පවුල් ජීවිත කොහොම ද? ඒවා මිහිපිට අපායවල් වගේ. අන්තිමට දුක්විඳින්නේ උන්ට ජාතකවුන අසරණ දරුවෝ.. සමහරුන්ට අප්පෙක් නෑ.. සමහරුන්ට අම්මෙක් නෑ. උන්ට ඉස්කෝලෙකට යන්න විදියක් නෑ.. ගොඩක් උන්ට උප්පැන්න සහතිකයක් නෑ.. සමස්ථ සමාජය ගෙන බැලුවොත් ඔය ගොඩක් ඒවාට වගකියන්න ඕනෙ පිරිමි. සමහර සමාජ මට්ටම්වල පිරිමින් අභිගවා ගැහැණු අවලම් වැඩවල.... ගොඩක් උන් මේ නිරුවත සල්ලිවලින්, තමන්ගේ තනතුරු, තානාන්තර වලින් වසාගෙන ඉන්නේ..
ඉතින් අපේ මේ මල් සහ පැණි ජීවිත ගැන ටිකක් හිතුවොත් නරක ද??


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.