ආවේගී පහර


දෘඩ වස්තුවක්ව පැවති මා ගත
ලුහු දඬු රාමුසැකිල්ලක් ලෙස ගිලන්ව
තෙරපුම් ආතති දරාගනිමින්
රළු පෘෂ්ඨයක් වූ මෙට්ටය මත
උදාසීන සමතුළිතතාවයේ ද
භ්‍රමණ චලිතයේ ද
විටෙක වෘත්ත චලිතයේ ද යෙදෙමින්
පූර්ණ ප්‍රත්‍යාස්ථ යැයි කිව නොහැකි පරිදි
දහසක් සිතුවිලි ගැටෙමින්
මන්දනය වෙමින් පැවති ධණාත්මක සිතුවිල්ල
නිසලවීමට ආසන්න මොහොතක
මට මතක්වුනා
ජීවිතය උඩු යටිකුරුකළ ඒ වචන ටික

"ජීවිතයේ සටන් නිරන්තරයෙන් ම
වඩා ශක්තිමත් හා වඩා වේගවත් ම මිනිසා විසින්
ජයගනු නොලැබේ...
ඉක්මනින් හෝ පමාවී හෝ
දිනන මිනිසා වන්නේ,
තමාට හැකි යැයි සිතන මිනිසාය... "


සියොලඟම දෙදරාගිය ආවේගී පහරින්
මා නැඟිටුණෙමි.
***
**
*

..ඔව් ඒ මම තමා..



            
මම
ඔව්
ඒ මම තමා
*
*
මතක නැද්ද
ඇයි යකෝ ඔහොම බලන්නේ
ඉස්සර උඹලත් එක්ක
හන්දිගානේ රස්තියාදු ගැහුවේ
කුරුම්බා ගස් පාලුකරේ
මුළු දවසෙම වෙලේ කරක්ගැහුවේ
*
*
මම
ඔව්
ඒ මම තමා
*
*
ඔව් යකෝ
අවුරුදු හත අටකට කලින්
තොපිත් එක්ක
ඒ හිටිය එකා තමා
අවස්ථාවක් දීලා බලාපල්ලා
තවම මම උඹලගේ එකෙක් කියලා පෙන්වන්න
තවමත් ඒ ලෙංගතුකම හිතේ තියෙනවා
මේං එබිලා බලාපන්
*
*
අතීතයෙ දවසක
සිතුවිල්ලකට එහා නොතිබූ නුදුරු බව
මෙදා අහස පොළොව තරම් දුරස්ව
පාර තොටේ හමුවෙන අපි
නන්නාඳුනන උන් වගේ
වෙන්වෙන අපූරුව
*
*
මම තොපිට කරපු
වරද කියාපල්ලා
*
*
මම
එදා තිස්ස
දැන් පියල්
හෙට
සවිමන් කබලානට
සමකරන්නද තොපි වෙරදරන්නෙ
*
*
මේ අපේ එකෙක් කියලා
සතුටු වෙයල්ලා
කුහක කම් අතෑරලා
වරෙන්
තවම මම
මම
*
*

සිතක මහිමය හැඳිනගනී නුඹ..



සිතේ දුර්වල තැන් සොය සොයා
සිඳී බිඳී ගිය කැබලිති රැගෙන තනන්නට යන
පෙර දිනයක නුඹ ම කඩා බිමහෙලූ
අපේ සිහින මාලිගය...

නුඹෙ කඳුළු මගේ කඳුළු වූ අතීතයේ
මගේ කඳුළු නුඹේ සතුට හැරුණු අපූරුව
කියාපාන මේ ජීවිතේ හරුපය
කෙදිනක හෝ හැඳින ගනී නුඹ..

ගැල පසු නෑර යන රිය සක මෙන්
පසුපස හබා එන නුඹේ වද වේදනා
පාරාවළල්ලක්වී නුඹ කරා එනදා
තමන්ට තමනුත් නැතිව යනු ඇත...

මිරිඟුව පසුපස යන මුවැත්තියක් බඳු නුඹ
දෙපා බෙලහීනව ඇදවැටෙන දිනයක
පිපාසිත මුව දිය සොයන පරිද්දෙන්
සිතක මහිමය හැඳිනගනී නුඹ..

යථාර්තය මෙය නොවේ ද....



නන්දා මාලනියන් විසින් ගයනු ලබන මෙම ගීතයෙන් කියවෙන්නේ අපගේ සමාජ යථාර්තය නොවේ ද??

මගේ ගම


              නේක විද මල් ගොමුවල සුවඳ රැගෙන
ගඳපාන, බෝවිටියා ගස් අතරින්
පෙරී ආපු ඒ සිහිල් හුලඟ වෙනුවට හමා එන
අව්වට රත්වී කැකෑරුණ දූවිලි හුලඟේ
දෙසවන් පිනවූ විහඟ හඩ වෙනුවට ඇසෙනා
තුට්ටු දෙකේ ගායකයෙකුගේ මළ අඳෝනාවක් තුල,
මහ කැළය පරදා අහස උසට නැගුණු ගඩොල් බිත්ති අතරින්
අපේ කියා එකෙක් සොයාගත නොහැකි මුහුණු සියගණන් මැද
සොයමි මම
මා දුව පැන හැදී වැඩුණ

*....... මගේ ගම.......*

මල් සහ පැණියෝ...


කාලෙකින් බ්ලොග් එකට මුකුත් ලියන්නත් බැරිවුණා...
නිතර සිතට නැඟුණ අදහස් ටිකක් හා මේ දවස්වල සිතට වදදෙන සිතුවිලි ටිකක් ගලපන්නයි අද හදන්නේ..
නා නා විද මල්...එක එක පාට..එක එක සුවඳින්.. සමහර ඒවා පිපෙන්නට ත් කලියෙන් සුන්දරයි..ඔය අතරෙ මෙලෝ රහක් නැති මලුත් නැතුවාම නොවේ. සමහර මල්වල ලස්සන විතරයි.සුවඳක් නෑ. සුවඳ සමහර මල් ලස්සන නෑ..ලස්සන මල් හැම එකක් ම සුවඳ ත් නෑ.. සමහර මල් පිපෙන්නේ ඇසට පෙනෙන මානයේ.. අත ගැටෙන මායිමේ.. සමහර ඒවා තහනම් ගස්වල, ලංවෙන්නට නොහැකි උස අතුවල සමහර මල් තව ම කාගේවත් නෙත ගැටිලා නෑ...

එතකොට පැණියෝ??
ඒ තමා පැණි උරන්නෝ.. පැණි උරන බඹරු, මීමැස්සෝ, සමනල්ලුන්ගෙ වැඩේ ඉතින් මල් පස්සේ යන එක තමයි..
වෙලාවකට හිතෙනො මල්, තමන් ලඟට එන්න කියලා අඩගහනවද කියල ත්. ඕවා ඉතින් මල් තමා දන්නේ.. සමහර බඹරුන්ට මල්වල සුවඳ වැදගත් නෑ.. උන්ට ඕන ලස්සන විතරයි... පැණි විතරයි.. සමහර බඹරු නහින්නෙ ත් මල් නිසාම තමා... බඹරු ඉතින් මල් හොයාගෙන යන්නේ පැණි උදෙසා ම තමා... නෑ කියන බඹරෙක් නම් තව ම මට මුණගැහිලා නෑ..
ස්ත්‍රිය ත් හරියට මලක් වගේ..ඒක ප්‍රසිද්ධ කියමනක්. මම හිතන විදියට මල් ගැන කියපු ගොඩක් දේවල් ස්ත්‍රියට අදාලයි.. වැදගත් ම දේ තමයි ඔය සුවඳයි ලස්සනයි සාපේක්ෂ වීම. එකෙක් ට ලස්සනට සුවඳට පෙනෙන දේ තව එකෙක්ට කැත ගඳගහන එකක්.. ගැහැණියක් කොහොමද සුවඳ වෙන්??? මොනාහරි සුවඳ ගහන දෙයක් ගාල ද?
නෑ... ඇත්තට ම ඇය සතු ගති ගුණ වලින් තමයි ඇගේ ජීවිතේ සුවඳ හෝ ගඳ ගහන එකක් වෙන්..එතකොට පිරිමි?
ගොඩක් උන් බඹරු තමා.. එක මලකින් සෑහීමට පත්වෙන්නේ නෑ.. සමහරු දකින දකින මල් පස්සේ යනෝ.. කොහොම උන ත් එක මලක් පමණක් පතාගෙන ඉන්න බඹරු වාගේ ම එක බඹරෙක් ව පමණක් පතන මල් නැතුවා ම නොවේ.
සමහර පිරිමිත් පැණි උරන්නෝ වගේ.. එක ගැහැණියක්(පෙම්වතියක්)ගෙන් සෑහීමකට පත්වෙන්නේ නෑ.. උන් තමන්ට අවශ්‍ය දේ කරගෙන තවත් එකෙක් හොයාගෙන යනෝ.. සමහර ගැහැණු ත් එහෙම තමා.සමහර ගැහැණු පෙති හැලුණ මල් වගේ..ජීවිතේ වටිනා කියන දේවල් නැතිකරගෙන.. සමහර කෙල්ලෝ මල් වට්ටි වගේ අතින් අතට යනෝ.. ඒ වාගේ ම බිරියට,පෙම්වතියට හොරා වෙනත් ගැහැණුන් හොයාගෙන යන බඹරු වගේ පිරිමි ත් අද සමාජයේ කෙතරම් ඉන්නවා ද??


පිරිමියෙක් එක් ගැහැණියකගෙනු ත්, ගැහැණිය එක් පිරිමියකගෙනු ත් සෑහීමකට පත්වෙනවා යැයි කියන බෝඩ් එකක් අප සමාජ සංස්කෘතිය තුල ගසාගෙන ඇතිමුත් ලොවට හොරා මේ පුංචි රටේ කෙතරම් කියලා අවලම් වැඩ වෙනවාද?? පිරිමින්ගෙ අවලම් වැඩ නිසා අසරණ කෙල්ලන්, ගැහැණුන්, උන් වදාපු දරුවෝ කී දෙනෙක් මේ වෙද්දි දුක් විඳිනවා ද?? ඒ වාගේම අවලමේ ගිහින් තමන්ගේ වටිනා ජීවිත වනසගත් ගැහැණු(කෙල්ලන්) මේ රටේ කොතෙකු ත් සිටිනවා ද?? අවලමේ යන උන් ටික දවසක් යද්දි ඒකට ඇබ්බැහිවෙනෝ.. ගොඩක් උන් දන්නවා උන් කරන්නෙ වැරැද්දක් කියලා.. ඒ උනාට සමහර උන් දන්නෙත් නෑ උන් කරන්නෙ වැරැද්දක් කියලා. ඒ වගේ ම අවලමේ යන ගැහැණුන්, පිරිමින් ගේ පවුල් ජීවිත කොහොම ද? ඒවා මිහිපිට අපායවල් වගේ. අන්තිමට දුක්විඳින්නේ උන්ට ජාතකවුන අසරණ දරුවෝ.. සමහරුන්ට අප්පෙක් නෑ.. සමහරුන්ට අම්මෙක් නෑ. උන්ට ඉස්කෝලෙකට යන්න විදියක් නෑ.. ගොඩක් උන්ට උප්පැන්න සහතිකයක් නෑ.. සමස්ථ සමාජය ගෙන බැලුවොත් ඔය ගොඩක් ඒවාට වගකියන්න ඕනෙ පිරිමි. සමහර සමාජ මට්ටම්වල පිරිමින් අභිගවා ගැහැණු අවලම් වැඩවල.... ගොඩක් උන් මේ නිරුවත සල්ලිවලින්, තමන්ගේ තනතුරු, තානාන්තර වලින් වසාගෙන ඉන්නේ..
ඉතින් අපේ මේ මල් සහ පැණි ජීවිත ගැන ටිකක් හිතුවොත් නරක ද??

පැල්පතට ත් වරුසාව


         නින්ඳ ත් නොනින්ඳ ත් අතර 
පොරකාපු ඇස්දෙක මත
වහලයේ ඉරටු අතරෙන්
බිංදුව බිංදුව වැටෙන වැහි බිඳු
කුප්පි ලාම්පු එළියට දිලෙමින්
රඟ දුන් අපූරුව...
ඒ මල් වරුසාව මහ වැස්සක් වී
කඩා වැටෙනවිට,
හට්ටි මුට්ටි හැළි වළං ටික
ගේ මැද මැවූ සොඳුරු රටා...
අහු මුලුවල හැංගී සිටි ගෙම්බන්ගේ
උජාරු හඬ මැදින්
පෙඟී ගිය මැටි පොළොවෙන් හමා ආපු
අපේ ජීවන සුවඳ...
අඩවන් කළ පැලැල්ලෙන්
රිංගන්නට වෙර දීපු බල්ලෙක්
ගුටිකා දුවපු හැටි...
සියල්ලක් දෙස
මුඳුන් බිත්තියේ ඉහල සිට
උපේක්ෂාවෙන් බලාසිටින
දුම් වැදී කිලිටිවූ
සීවලී හාමුදුරුවෝ.....

නොමැරෙන මිනිස්සු


අපේ අනාගත ප්ලෑන් කොහොම ද? ඩිග්‍රිය අරන් ජොබ් එකක් කරලා හොඳ ගෙයක් දොරක් හදාගෙන ලස්සන කාර් එකක් එහෙම අරගෙන... තව ත් බොහෝ දේවල්. ඒ තවත් අවුරුදු 10ක් 15ක් හෝ නැතිනම් ඊට ත් එහා අනාගතය ගැන අපේ සැලසුම් ය. අප සිතා සිටින්නේ මේ ජීවිතය අපට අපේ අණසක පරිදි අපේ වසඟයෙන් පවත්වාගෙන යා හැකියි කියා.. නිකමට වගේ හිතුවද "මම හෙට මැරේවි" කියා..
මේ ජීවිතය අත හැර අපට කොයියම් ම මොහොතක හෝ නික්මීමට සිදුවනු නොඅනුමානයි.. හොඳට වට පිට ඇහැ කරකවලා බැලුවොත් අපි මේ කරන්නේ මොන විකාර ද කියල අපට ම තේරුම් ගන්න වැඩිවෙලා යන්නෑ.සමහරු ජීවත්වෙන්නේ උන් කවදාව ත් මැරෙන උන් නොවන ලෙසිනි. තණ්හාවෙන් හැමදේ ම බදාගෙන තමන්ට කප්පරකට සැප සම්පත් තිඹුණ ත් එයින් තඹ දොයිතුවක් තවෙකෙකු වෙනුවෙන් කැප කරන්න මැළිවෙන මසුරු සිටාණන් අද සමාජයේ කොතෙකු ත් දැකගත හැක. තව ත් සමහරු බලය නිසා ඔලුව පුම්බාගෙන අනෙකා තලා පෙලා කිසිදා නොමැරෙන් උන් ලෙස ජීවත් වෙති. තවත් සමහරු කාලා බීලා ජොලියෙන් ජීවත් වෙති. නමුදු කවදාක හෝ අපට ත් මැරෙන්න සිදුවන බව ඔවුන් නොසිතති. අපේ මරණය අපට පාලනය කළ හැකිද?? මරණය ඔඹට අත වනන විට එය කල් දා ගතහැකි ද?? "අනේ මට දැන් ම මැරෙන්න බෑ මට කරන්න දේවල් තව ගොඩක් තියෙනවා, මට මගේ පෙම්වතිය,අම්මා, තාත්තා, මගේ දේපළ දාලා එන්න බෑ" යනාදී කුමන දෙයක් කියා හෝ අපට අපේ මරණෙන් පලා යා හැකිද? කවදාකව ත් එය එසේ සිදු නොවේ. මරණයට මුහුණදීමට සිදුවන්නනේ අපට තනිවම ය. එතෙක් කල් අප ලඟින් සිටී ලබැඳියන්, අපේ ධනය, දේපල සියල්ල අතහැර තනිවම මරණයට මුහුණ දීමට සිදුවේ. බෞද්ධයන් හැටියට අපි මරණින් මතු ජීවිතයක් පිළිගනී. නොයෙකුත් පර්යේෂණ මගින් ද සත්වයාගේ පුණර්භවය සනාතවී ඇත. මරණින් මතු අප රැගෙන යන්නේ මොනවාද??
අපගේ ජීවිත කාලය තුළ අප සිදුකළ දේවල්වල ප්‍රථිඵලයන් පමණකි. අපගේ ජීවිත කාලය තුල කර ඇත්තේ නරක ම පමණක් නම්??
මරණාසන්න මොහොතේ අපට කුමක් වේවිද?? මතු ආත්මයක අපගේ ජීවිත මොන වගේ වේවිද??

ඉතින් කවදාක හෝ අතහැර දමා යන්නට සිදුවන මේ ශරීරය, අප සතු දේපළ, අප ආදරය කරන පුද්ගලයින් යනාදී සියලු දේවල් වෙනුවෙන් අපි මේ එකිනෙකා තලා, පෙලා, මරාගෙන කරන්නේ මොනතරම් පිස්සුවක් ද?? අද මට දැනගන්න ලැබුණොත් මට දරුණු පිළිකාවක් වැඩිකල් නොගොස් මා මියයන් බව... මට මේ සියල්ල අතහැර දමා යෑමට සිදුවේ..
ඉතින් අපි මැරෙණා මිනිසුන් ලෙස ජීවත්වුනො ත් නරකද??
නෙළුම
මඩෙ හි හටගෙන ජල මට්ටමෙනු ත් ඉහලට පැමිණ ලොව ම සුවඳවත් කරයි...
මඩෙහි පිපුණ ත් එහි පෙතිවල මඩ නැත.
මඩ ගඳ වුව ත් නෙළුම සුවඳ ය..
මේ කෙසේ වුවත් එයද පරව යයි.

පොෂ් ඩයල් සහ අලයෝ...


මා හුදෙක් මේ post එක ලියන්නේ කුමන හෝ පුද්ගලයෙක්, පුද්ගලයන් පිරිසකට අපහාස කිරීමට හෝ අපහසුතාවට පත්කිරීමට හෝ මඩ ගැසීමකට හෝ නොවන බව කරුණාවෙන් සලකන්න...මගේ බ්ලොග් එකේ විශ්වවිද්‍යාල ජීවිතය ගැනත් යමක් ලියන්න හිතුනා.. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ එයට ම ආවේණික වූ බොහෝ දේ අතරින් භාෂාවට හිමිවන්නේ විශේෂ තැනකි. එහි අමුතු ම වචන ගොඩකි. පොෂ් ඩයල් සහ අලයෝ ගැන මට අසන්නට ලැබුණේ මා සරසවියට ඒමට දින කිහිපයකට පෙර මුණ ගැසුනු මාගේ තවත් විශ්වවිද්‍යාල මිතුරෙකුගෙනි. ඔහුට අනුව පොෂ් ගොඩට බොහොමයක් අයිති වන්නේ කෙල්ලන් ය. ඔහු කී පරිදි යමෙක් පොෂ්වීමට සපුරාලියයුතු මූලික සුදුසුකම් කිහිපයක් ඇත.ඒවා මෙසේ ය.
මූලික ම දෙය ලෙස හොඳට පොලිෂ් වූ කඩ්ඩක්,
අත මිට යහමින් මුදල්,
කෙල්ලක් නම් ඇහැට කණට පෙනෙනෙ හොඳ රූප සෝභාවක්,
කොළඹ අවට පදිංචියක්
තිඹීම තවත් අනිවාර්ය්‍ය අවශ්‍යතාවක් බව ද ඔහු පැවසීය.
උන් වෙනම ම ගැට්ටක් ගහගෙනලු ඉන්නේ.
ගමන් බිමන් තම තමන්ගේ ම වාහන වලින් ලු.කථා කරන්නේ කඩ්ඩෙන් ම ලු.

අලයන් ලෙස හැඳින්වෙන්නේ අන්තරේට සම්බන්ධ නොවන වි.වි ශිෂ්‍යයන් ය.ඔහුට අනුව සමහර වි.වි මුලුමනින් ම අල වි.වි ලෙසත් තවත් සමහර වි.වි වල සමහර පීඨ පමණක් අලයන්ගෙන් සමන්විත වේ.
අන්තරය රජකරන තැන් වල ද අලයෝ නැතුවා නොවේ...ඒ මාගේ මිත්‍රයා මට පොෂ් සහ අලයන් හඳුන්වාදුන් ආකාරයයි...ඔහුට අනුව මම අලයෙකි.. මොකද බැලිඤ්ඤං අප්පේ....
මෙහේ දේශපාලනේ නැති ලු. ටියුෂන් පංතිවලට පට්ට ගහපු කලිසම් ටිකයි, කමීස දෙකතුනකුයි දමන් එන්න, මල්ලක් හොයනකොට තමයි මට තේරුනෙ අම්මපා මං කොච්චර පොෂ් ද කියලා...



ඕං ඉතින් කොහොමහරි කොලොම්පුරේ සරසවියට ත් ආවයි කියමුකෝ...
මට දකින දකින හැම එකා ම පොෂ් ඩයල් වගේ... ඕං ටිකවෙලාවකින් දැක්කා t ෂර්ට්,ඩෙනිම ඇඳගත්තු රබර් කටු දෙකෙන් සැරසුන අපේ අයියලා කීපදෙනෙක්...ඒක මෙහේ සංස්කෘතිය. ඇති යාංතම්...
දැන් මට දැනෙන, පෙනෙන විදිය මිතුරා කිව්වා ට වඩා වෙනස්..
ඇත්තට ම මෙහෙත් පොෂ් ඩයල් අතලොස්සකි( පෙනෙන විදිය ).
උන් ඉන්නේ වෙනම ය. කන්නේ පොෂ් කෑම මිස කැන්ටිමේ උයන ඒවා නොවේ.
බොන්නේ කෝලා වර්ග මිස ප්ලේන් ටී නොවේ. මිත්‍රයා කියූ අවශ්‍යතා සියල්ල සපුරා තිඹුණ ත් මෙහේ බහුතරය මෙන් සාමාන්‍ය විදියට කල් ක්‍රියාව ගතකරන අනෙකාගේ දුකේ දී හිත උණුවන හඳවත් ඇත්තෝ නැතුවා නොවේ.
උන් කන්නේ ත් බහුතරය කන රු.25 කෑම එක ම ය. දුටු තැන වචනයක් හෝ නොදොඩා නොයති.
මෙන්න බොලේ වැඩක්....
හද්ද ඩොටෙන් ආපු සමහර කෙල්ලන් ට දැන් මුල මතක නැතිවෙලා..
පාරෙදි දැක්කත් උන් අපි අදුරන්නේ නෑ. උන් open කැන්ටීන් එකක දැකපු කාලයක් මතක නැත.
උන් ඇවිදින්නේ සමහර ශරීර අවයව නලලට ත් උඩින් තියාගෙන ය.
අඳින ඇඳුම් දැක්කා ම දුක හිතෙනවා...හ්ම් පොෂ් ඩයල් ගැන කථා ඇති.
මෙහේ අලයන් ලෙස හැඳින්වෙන අතලොස්සකි..සමහර පොෂ් ඩයල් ද අලයන් ලෙස හැඳින්වේ....
ඔවුන් දැකගත හැක්කේ lecture එක්කදී පමණි.campuss එකට එන්නේ lectures, assignments ඇති දින වලට පමණි...සමහරු කැමැත්තෙන් ම අලවී ඇත. සමහරු අලයන් බවට පත්කර ඇත..කෙනෙක් ස්ව කැමැත්තෙන් අලයන්වුනා දෙන්.නමුදු අලයන් ලෙස හන්වඩු ගැසීම මිනිස්කමට නිගාවකි...කොහොම හරි රතු මල්ලි කෙනෙක් දැක්කොත් කියවි තොපි ඔක්කෝම අල කියලා..පොෂ් ඩයල් ද උන්නා දෙන්..ඔවුන්ගේ මානය කෙදිනක හෝ දුරුවේවි.නැතත් අපට මොකෝ???

අතීතයේ අඳුරු සෙවනැළි...

සිත පහුරු ගාමින්
හඳවත දෙබෑ කරමින්
මා සතුට පැහැර ගන්නා
භිය, ශෝක, නින්දා.....
මා වග කිවයුතු නොවන
මා හිමිකරගත්තේ ද නැති
මා සන්තක වූ
අතීතයේ අදුරු සෙවනැළි
හඹා එයි පසුපස....
මා වරදක් කර නැත.
කරන්නට අදහසක් ද නැත
නමුත් කිම ද
මා අතැර නොයන්නේ...
නැගී බිඳෙන රැළි සේ...
ඇතිවී නැතිවන
මා සිතේ

අඳුරු සෙවනැළි....


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.