දිරියක් නැති දැරියට දරුවෙක්

    දවසක්දා මම යනකොට 
    තඩි මල්ලත් උස්සාගෙන
    ඉස්කෝලෙට කෝච්චියෙන්

    මහ මෙරක බරක් හිතේ දරන්
    ඇය යනවා 
    අම්මා හට වාරු තියන්
    අසීරුවෙන්
    දරු පැටියෙක් කුසේ දරන්
    සායනයට

    අසරණ මුහුනින් යුක්තව
    නෙතු සඟලම
    බිමට හොවා
    ලැජ්ජාවෙන්

    එක බංකුවෙ එකට ඉඳන්
    අකුරු කෙරුව පුංචි දැරිය

        

වමාරා කෑම

        ඇයගේ අතීතයේ ඔහු ද
        ඔහුගෙ අතීතයේ ඇය ද
               නැත
      එනමුදු තව බොහේ අය සිට ඇත
             එහෙයින්
       ඔවුන්ට අනාගතයක් නැති ද?

උස් තැන් සහ මිටි තැන්


    පරිවාර වාහන හත අටක් වටකර
    පොළිස් සයිරන් නළා හඬවමින්
    යයි හැටට හැටේ
    ප්‍රභූ මැතිදුන්

    හිස නමා ආචාර කරයි රාළහාමි
    සසරෙ පිං කර නොමැති එලෙසින්
    පොදු මහජනයා
    යති තනි කකුළෙන් එල්ලී පාපුවරුවේ
    දහදිය පෙරාගෙන
    පැය ගනන් හිර වෙවී තද බදේ

    නැවතුවා බස් රථය 
    අපේ රාළහාමි
    බහිනව තමුසෙලා 
    තුන් දෙනාව ම
    දාහ ගානේ හැම දෙනාට ම
    ලියුවා දඩ කොළේ...
    


ඈ අසරණයි


   සොයයි නම්බූ නාම
   බලයි කුළ මළ
   යාන වාහන
   වතුපිටි යහමින්
   තිබේදැයි
   සහකරුවාට
   අතැඟිලි බඳිනට
   තම දියණියට
   ලන්සු තබති ගණුදෙනුකරුවන් වටවී
   ලොවට හොරා රහසේ ඉකිබිඳියි ඇය
   අතීතයේ දිනයක තම වටිනා දෑ සියල්ල
   පුද දී අවසන් වූ කල
   හොර රහසෙ සැඟවගිය
   සත්‍යප්‍රේම භෘංගරාජයා
   කළ හදිය සිහිවී...

හෘදසාක්ෂිය



  ලොවට හොරෙන්
  කරන කෙරුම්
  රඟන රැඟුම් 
  මේ ලොව දනී තවෙකෙක්

  දිනක් පැමිණෙයි
  විත්ති කූඩුවට නඟිනා
  මායාවේ දුහුල් සළුව ලිහී
  සියළු චෝදනාවලට වැරදිකරුවන
  සිතන වාරයක් පාසා
  බරපතල වැඩ සහිත
  දඩුවම් විඳිනා
  හෘද සාක්ෂියේ අධිකරණයේ

තණ්හාව


   අත්හැරීම
   සංකල්පයක් ම වී
   බණමඩුවල කථා ඇතුලෙ
   පුස්කාපු තැටිවල
   පරණ වෑර්ලස් හඩින්
   කොතෙක් ඇහුනත්
   පිම්මෙ දුවන අපිට
   මොන අත්හැරීම් ද
   තව පොදි බඳිනව මිසක්
   කිනම් සංතුෂ්ඨියක්ද
   කිනම් නිවනක්ද


ජීවිතයෙන් බිඳක්
විඳගැනීමට පැමිණි ඔඹ
සාදරයෙන් පිළිගනිමි.